අහිංසා වික්‍රමතුංගගෙන් අගමැතිට ඉල්ලීමක්

ලසන්ත ඝාතන නඩුවට අදාළව රාජකාරිය පැහැර හැරීම පිළිබඳව නීතිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන එන ලෙස අහිංසා වික්‍රමතුංගගෙන් අගමැතිට ඉල්ලීමක්

by Staff writer 06-02-2025 | 1:54 PM

COLOMBO (News1st) - ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩු විභාගයට අදාළව රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන එන ලෙස අහිංසා වික්‍රමතුංග අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට ලිපියක් යෙමු කරමින් ඉල්ලීමක් කර තිබේ.

ඇය සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ විමර්ශනයේ සැකකරුවන් ලෙස නම් කර තිබූ තුන්දෙනෙකු නිදහස් කිරීමට නීතිපති පාරින්ද රණසිංහ මහතා පසුගිය සතියේ ගත් ක්‍රියාමාර්ගය ගැන සිය කණස්සල්ල පළ කරන බවයි.

මෙම තීරණය අහම්බයක් නොවන බව පසුගිය සතියේ සිදු වූ කරුණුවලින් පැහැදිලි වන බව ද ඇය දන්වා තිබේ.

ඇය අවධාරණය කරන්නේ, 2015 සිට මෙම නඩුව බැරෑරුම් ලෙස හෝ විශ්වාසදායක ලෙස විමර්ශනය කර නොමැති බවයි

යුක්තිය පසිඳලීමේ ආණ්ඩුවේ ප්‍රතිඥාව ඉටු කිරීමට ඇති එකම ක්‍රමය වන්නේ ඔහුව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඔහු ධූරයෙන් නෙරපා හැරීම බව ඇය පෙන්වා දී ඇත.