ස්වීඩනයේ පාසලක වෙඩි තැබීමකින් 10ක් මරුට

ස්වීඩනයේ පාසලක වෙඩි තැබීමකින් පුද්ගලයින් 10ක් මරුට

by Staff writer 05-02-2025 | 7:00 AM

COLOMBO (News 1st) - ස්වීඩනයේ පාසලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

මධ්‍යම ස්වීඩනයේ ඔරෙබ්‍රෝහි වැඩිහිටි අධ්‍යාපනික පාසලක මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම පාසලේ ඉගෙනුම ලබන්නේ, ප්‍රාථමික හෝ ද්විතීයික පාසල් අවසන් නොකළ වැඩිහිටියන් බව සඳහන්ය.

තනි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පසුව ඔහු ද වෙඩි තබා සියදිවි හානි කරගෙන ඇතැයි එරට ආරක්ෂක අංශ පවසයි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

නමුත් ප්‍රහාරය තුළ ත්‍රස්තවාදී චේතනාවක් ඇතැයි පෙනෙන්නට නොමැති බව ද ඔවුන් පෙන්වා දෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් පණිවුඩයක් නිකුත් කරමින් අගමැති උල්ෆ් ක්‍රිස්ටර්සන් පැවසුවේ,මෙය ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම වෙඩි තැබීම බවත් නැවත කිසිදු දිනක මෙවැනි සිදුවීමක් වන්නට ඉඩ නොතබන බවයි.