COLOMBO (News 1st) - ආර්ථික, සමාජීය හා සංස්කෘතික නිදහස වෙනුවෙන් සියලු දෙනා තවදුරටත් අරගලයක නිරත විය යුතුව ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, 77 වැනි ජාතික නිදහස් දින සැමරුමේදී ජාතිය අමතමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ, උතුරේත්, දකුණේත්, නැගෙනහිරත්, රට මැදත් ජනයා අනාගත පොහොසත් ශ්‍රී ලාංකීය රජ්‍යයක් ගැන නූතන ශ්‍රී ලාංකීය ජාතියක් ගැන එකාවන්ව සිහින දකින මොහොතක අප අද නිදහස සමරන්න බවයි.
තවද කිරීටයෙන් පූර්ණ දේශපාලන නිදහස ලබා 77 වන නිදහස සමරන මේ මෙහොත දක්වා අප පැමිණි ගමනේ අප දන්නා අප සමරන වීරයන් වීරවරියන් සේම අප නම් නොදන්නා අපේ නිදහස වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ සුවහසක් වීරෝධාර මිනිසුන්ගේ ලේ කඳුළු දහදිය මතින් අද දක්වා අප පැමිණ සිටින බවත් ඒ සියලුදෙනාට මේ මොහොතේ ආචාරය හිමි වන බවත් ජනපති පැවසීය.
ගෝලීය ආර්ථික පද්ධතිය තුළ දුබලයෙකු නොවී එහි සෑම චලනයකින්ම තැලෙන පෑගෙන යටත්වැසියෙකු නොවී ආර්ථික තලය තුළ අපේ නිදහස සාක්ෂාත් කර ගන්නට නම් අප සියලුදෙනා එක්ව මේ මාතෘභූමිය වෙනුවෙන් කැප විය යුතු බවත් ඒ ආර්ථික නිදහස වෙනුවෙන් අප කරන අරගලය තුළ අපේ සමාජයීය සංස්කෘතික නිදහස කිසිසේත්ම දෙවැනි කර තැකීමට අප සූදානම් නැති බවත් ජනපති පැවසීය.
ඒ නිසා කලාකරුවන් ලෙස, ලේඛකයන් ලෙස, ජනමාධ්‍යවේදීන් ලෙස, ශාස්ත්‍රඥයන් ලෙස වෛරයෙන් ක්‍රෝධයෙන් අපවිත්‍ර කරනු ලැබූ අපේ ජාතික ආත්මය පවිත්‍ර කරන්නට සුවපත් කරන්නට ඔබට ඇත්තේ අත්හැරිය නොහැකි වගකීමක් බවත් එහිදී ආගමික නායකයන් වෙත සුවිශාල වගකීමක් පැවරී ඇත.
ජනපති වැඩිදුරටත් පවසා සිටියේ, මිනිසුන් ලෙස මේ පොළොවේ උපදින අපට ඇති අත් හැරිය නොහැකි වගකීම වන්නේ මේ ලෝකය වඩා උසස් මනුෂ්‍යත්වයක් සහිත තැනක් බවට පත් කිරීමත් එසේම ඒ උසස් මනුෂ්‍යත්වය සමානව උකහා ගැනීමට සියලු මිනිසුන්ට අවකාශ සලසා දීමත්, නිදහසේ සිහිනය එක්ව දකිමු ඒ සිහිනය එක් ව සැබෑ කර ගනිමු ලෙසයි.
අපට නියත ලෙසම මේ ලෝකයේ ධනවත්ම රට බවට පත් විය නොහැකි නමුත් අප උත්සාහ කළොත් අපට මේ ලෝකයේ පොහොසත්ම ජාතික ආත්මය දරා ගත් සමානාත්මතාවයේ හා නිදහසේ ආදර්ශ රාජ්‍යය බවට පත් විය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ.