ගිනි අවියක් ක්‍රියාත්මක වීම ගැන වාර්තාවක්

ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමේදී ගිනි අවියක් ක්‍රියාත්මක වීම ගැන නාවික හමුදාවෙන් වාර්තාවක් කැඳවයි

by Hashini De Mel 29-01-2025 | 2:44 PM

COLOMBO ( News 1st ) - කන්කසන්තුරේ මුහුදේදී ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනිමට යාමේදී ගිනි අවියක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් නාවික හමුදාවෙන් වාර්තාවක් කැඳවීමට තීරණය කර තිබේ.

ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට ලැබී ඇති තොරතුරු හා නාවික හමුදා වාර්තාව මත පදනම්ව ඉදිරි පියවර ගන්නා බවයි.

කෙසේ ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැලැක්වීම සඳහා දැනට ක්‍රියාත්මක සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස නාවික හමුදාවට දැනුම් දුන් බවද ඔහු ප්‍රකාශ කළේ ය.

කන්කසන්තුරේ මුහුදේදී නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතව වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමට යාමේදී  ඔවුන් කළහාකාරී ලෙස හැසිරෙමින් නාවික හමුදා සාමාජිකයෙකු සතු ගිනිඅවිය උදුරාගැනීමට තැත් කර තිබේ.

එම අවස්ථාවේ ඇති වූ පොර බැඳීමේදී ගිනි අවිය ක්‍රියාත්මක වී තිබේ.

එහිදි තුවාල ලැබූ ඉන්දීය ධීවරයින් දෙදෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙ‍රිණි.