කොහුබත් කර්මාන්තය කරගෙන යන්න බැරිවුණු මිනිස්සු

කොහුබත් කර්මාන්තය කරගෙන යන්න බැරුව අසරණ වෙච්ච ගම්මුන් පිරිසක්

by Hashini De Mel 28-01-2025 | 10:32 PM

COLOMBO (News 1st) - පොල් මිල ගැන, පොල් හිඟය ගැන, පොල් ගෙඩියේ ප්‍රමාණය ගැන මේ දවස්වල හැම තැනම කතා වෙනවා.

පොල් ලෙල්ලක් රුපියල් 15 යි.

ඒ ගැන කතා කරන පිරිසක් ගැනයි මේ කතාව.

පඬුවස්නුවර, මඩාවල සහ දෙමටගොල්ල ගම්මානවල වැඩි දෙනෙක් ජීවත් වෙන්නේ කොහු බත් කර්මාන්තයෙන්.

පොල් ත්‍රිකෝණෙට අයිති එක කොණක් තමයි කුරුණෑගල.

කුරුණෑගල ගම්මානවල මිනිස්සු කලකට පෙර අනුන්ට අත නොපා ජීවත් වුණා.

ඒත්, අද මේ කර්මාන්තය කරගෙන යන්න බැරුව අසරණ වෙලා තියෙන්නේ අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසයි.

අමුද්‍රව්‍ය මිල, ප්‍රවාහන වියදම්, කුලීකරුවන්ට දෙන ගාණ, විදුලි බිල.

මේ ඔක්කොම එකතු වුණාට පස්සේ නිෂ්පාදනය කරන භාණ්ඩවලින් ලාභයක් නැහැ කියලා ඔවුන් විස්තර සහිතව කිව්වෙ අද ගෙයින් ගෙට ගියපු ගම්මැද්ද කණ්ඩායමට.

ඒ මිනිස්සු එක්ක කතා කරාට පස්සේ මාවිඇළ ගම්මානයේ ජනතාව හමුවෙන්නත් ගම්මැද්ද කණ්ඩායම ගියා.

මාතර කණ්ඩායම මාතර කොලනිය අඹගස්තැන්න ගම්මු හමුවෙලා කතාබහ කරමින් ගෙයින් ගෙට ගියා.

පහසුවෙන් යන්න පුළුවන් පාරක් නෙවෙයි.

මේ තමයි ෆැට්නා සහ සිංහරාජයට යන්න තියන කෙටිම පාර.

අඹගස්තැන්නෙ මිනිස්සු මේ පාරේ යන්නේ, වෙන කරන්න දෙයක් නැති නිසා.

අද ගම්මැද්ද කණ්ඩායම කොටපොල, දෙණියාය, අලුත් කොළණිය ඇතුළු ගම්මානවල ජනතාව හමුවෙලා ඔවුන්ටත් සවන් දුන්නා.

මඩකලපුව සල්ලතිව්.

පවුල් 140 ක් ජීවත් වෙන ගමක්.

බොන්න වතුර නැතිකම, නිවාස ප්‍රශ්නය, සනීපාරක්ෂක ගැටළු, ඇතුළු අර්බුද රැසක් එක්ක ජීවිතේ ගෙවන මිනිස්සු.

වහින කාලෙට බෝට්ටු පදින්න තරම් වතුර.

ඒ කාලෙට ගෙවල්වල කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැතිලු.

කාට කියන්නද?

ගම්මැද්ද කණ්ඩායම, සියල්ල  අහගෙන හිටියා.

පේරාදෙණි සරසවි සිසුන්ගේ දත්ත සමූහයට තවත් ගම්මානයක් එකතු වුණා.

මඩකලපුව පාලර්සේනෙයි, සින්නතාලවෙලි, නඩුක්කුඩුයිරුප්පු, පනිච්චර්න්කර්නි ගම්මානවල මිනිස්සු හමුවෙන්නත් ගම්මැද්ද කණ්ඩායම ගියා.

බදුල්ල තෙල්දෙණියාය ගමේ වකුගඩු රෝගියෙක් නැති ගෙදරක් හොයා ගන්න එක අමාරු වැඩක්.

පවුල් 500ක් විතර පිරිසිදු වතුර නැතුව දුක් විඳිනවා.

වතුර ටැංකියක් තිබුණට ඒක නමට විතරක් තියන එකක් කියල ගම්මු කියනවා.

බොන්න වතුර හොයාගෙන හැතැප්ම පහ හය ඇවිදින එක දැං ජීවන චක්‍රයේ කොටසක් බවට පත් වෙලා.  

ඔරුබැඳිවැව ඇතුළු ගම්මාන කිහිපයකම ගෙයින් ගෙට යමින් ගම්මැද්ද කණ්ඩායම ජනතාව හමුවුණා.

ගෙයින් ගෙට ගිහින් දවස් 20 ක් සම්පූර්ණ වෙලා.

හෙටත් ගම්මැද්ද කණ්ඩායම් ගම්මානවලට එන්න ලෑස්තියි.