COLOMBO (News 1st) - ඛනිජ තෙල් සංස්ථාවේ අරමුදල් පරිහරණය සම්බන්ධව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සිව්දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(23) නියෝග කර තිබේ.
2015 ජනාධිපතිවරණ සමයේදී ගංවතුරින් විපතට පත් වූ ජනතාවට බෙදා දීම සඳහා ලබාගත් රුපියල් ලක්ෂ 61කට අධික වටිනාකමක් සහිත වියළි ආහාර දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම හා ඊට අධාර අනුබලදීම ඔවුන්ට එල්ල වූ චෝදනාවයි.
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ වෛද්‍ය ධම්මිකා ශිරාණි සුමනරත්න, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති එස් අමරසේකර හා හිටපු අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් අනුර සෙනෙවිරත්න යන සිව්දෙනා මෙලෙස ඇප මත මුදා හැරුණි.
එක් සැකකරුවකු මුදා හැරුනේ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේ ය.
2014 වසරේ අග භාගයේදී එවකට ඛනිඡ තෙල් විශය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ බිරිඳ සතොස ආයතනය වෙත යොමුකළ ලිපියන් මගින් වියළි ආහාර පාර්සල් ඉල්ලුම් කර තිබූ බවත් ඒ සඳහා වැයවූ රුපියල් හැට එක්ලක්ෂ හතලිස් හයදහස් එකසිය දහසක් වූ මුදල ඛනිඡ තෙල් සංස්ථාවේ මුදලින් ගෙවා ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දී තිබේ.
එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්දතිස්ස, නලින්ද ඉන්දතිස්ස, ශවීන්ද්‍ර ප්‍රනාන්දු හා නීතිඥ චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් පවසා සිටියේ යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශන ආරම්භ කර තිබූ බවයි.
එම විමර්ශන උධෘත 2015 මැයි මස 05 වැනි දා නීතිපතිවරයා වෙත යොමු කර උපදෙස් පතා තිබූ බව පවසා සිටි නීතිඥවරුන් වසර දහයකට පසු නීතිපතිවරයා ලබා දුන්නේ යැයි කියන උපදෙස් අනුව සිය සේවාදායකයින් අත්අඩංගුවට ගෙන ඇති බව කියා සිටියා.
මෙය දේශපාලන අවශ්‍යතා මත සිදු කළ ද්වේශ සහගත ක්‍රියාවක් බව ද නීතිඥවරු අවධාරණය කළේ ය.
පොදු දේපළ පනත යටතේ සිය සේවාදාකයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සහකාර පොලිස් අධිකාරිවරයෙකුට හෝ ඉහළ නිලධාරියකු අධිකරණයට සහතිකයක් ඉදිරිපත් කළ යුතු බව අධිකරණයට පෙන්වා දුන් විත්තියේ නීතිඥවරුන් විමර්ශන නිලධාරීන් මුල් විමර්ශන වාර්තා සමග අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ තොරතුරු වාර්තාවක් මිස සහතිකයක් නොවන බව කියා සිටියේ ය.
ඔවුන් පෙන්වා දුන්නේ මේ පසුබිම තුළ සිය සේවාදායකයින්ට එරෙහිව නීතිමය පියවර ගත නොහැකි බවයි.
මුල් අවස්ථාවේදී අධිකරණයට කරුණු වාර්තා කරන විට සැකකරුවන් කවුරුන් දැයි නම්කර තිබුණේ දැයි අතිරේක මහේස්ත්‍රත්වරයා එහිදී විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටියේ ය.
විමර්ශන නිලධාරීන් කියා සිටියේ, නීතිපතිවරයාගේ උපදෙස් පතා තිබූ අතර සැකකරුවන් නම් කිරීමක් සිදුකර නොතිබූ බවයි.
වසර දහයක් යනතුරු නීතිපති උපදෙස් ලැබී නොතිබීම, සැකකරුවන් පිළිබඳව තොරතුරු අනාවරණය නොවීම පිළිගත නොහැකි බව විවෘත අධිකරණය හමුවේදී විමර්ශන නිලධාරීන් අමතමින් පැවසූ අතිරේක මහේස්‍රාත්වරයා රටේ නීතිය පොදු නීතියක් බවත්, නීතිපතිවරයා සෑම විටම රජය නියෝජනය කරන බවත්, රජය වෙනස් වූ පමණින් නීතිපතිවරයාගේ රාජකාරිය වෙනස් නොවන බවත් අවධාරණය කර සිටියේ ය.
විමර්ශනය හා සැකකරුවන් නම් කිරීමට ගත වූ කාලය, සැකකරුවන් විමර්ශනවලට බාධා කිරීමක් පිළිබඳ නිරීක්ෂණය නොවීම විශේෂ කරුණු ලෙස සලකා ඇප මත මුදාහරින බව මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ ය.
නඩුව මැයි 6 යළි කැඳවීමට නියමිතයි.