ඖෂධ මිල විශාල ලෙස පහළ දැමීමට හැකි වුණා

සැපයුම්කරුවන් අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීමෙන් ඖෂධ මිල විශාල ලෙස පහළ දැමීමට හැකි වුණා - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති

by Hashini De Mel 22-01-2025 | 6:35 AM

COLOMBO (News 1st) - ඖෂධ සැපුයම්කරුවන් අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීම මගින් ඖෂධ මිල විශාල ලෙස පහළ දැමීමට හැකිවූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, පසුගිය කාලයේ ඇතැම් ඖෂධ සැපයීම සඳහා ලියාපදිංචි වී සිටියේ එක් සැපයුම්කරුවෙකු පමණක් බවයි.

මේ හේතුවෙන් වෙළෙඳපොළ ඒකාධිකාරීයක් පැවතීමෙන් එම ඖෂධ ඉහළ මිලකට මිලදී ගැනීමට රජයට සිදු වූ බව ඔහු පෙන්වා දෙයි.

වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, ඒ අනුව එක් සැපයුම්කරුවෙකු පමණක් සිටින ඖෂධ සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම කඩිනමින් සිදු කළ බවයි.

ඒ අනුව ලියාපදිංචිය ඉල්ලා ඉදිරිපත් කර තිබූ ඖෂධ සැපයුම්කරුවන් 2800ක පමණ ලිපි ලේඛන පරීක්ෂාව කඩිනම් කළ බව ද ඔහු පැවසුවේ ය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එම සියලු සැපයුම්කරුවන් සුදුසුකම් පරීක්ෂාවෙන් අනතුරුව ලබන මාර්තු මාසයට පෙර ලියාපදිංචි කරන බවයි.