ආගමන විගමන පාලකගේ ඇප ඉල්ලීම..

ආගමන විගමන පාලකගේ ඇප ඉල්ලීම..

by Staff writer 22-01-2025 | 9:43 PM

COLOMBO (News 1st) - ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝග අනුව කටයුතු නොකිරීම හේතුවෙන් අධිකරණයට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කර තිබෙන ඇප ඉල්ලීම ලබන 27 වැනි සඳුදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) නියම කළේ ය.

නඩුව අද කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් හර්ෂ ඉලුක්පිටිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කළේ ය.

ඒ අවස්ථාවේදී ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදු කළේ ය.

එම ඇප ඉල්ලීම ලබන විසිහත් වැනිදා සලකා බලා එදිනට නියෝගයක් ලබා දීමට කටයුතු කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ ය.

විද්‍යුත් වීසා සේවාව විදේශීය සමාගම් දෙකකට ලබාදීමට පසුගිය අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ අගෝස්තු දෙවැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

නමුත් එම අධිකරණ නියෝග අනුව කටයුතු කිරීම ආගමන විගමන පාලක ජනරාල්වරයා චේතාන්විතව හිතාමතා පැහැර හැර ඇති බැවින් ඔහුට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්ව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පසුගිය සැප්තැම්බර් 25 වැනිදා හර්ෂ ඉලුක්පිටිය මහතාව රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.