මල්වතු, යාන් ඔය සහ මහවැලි ගංවතුර අවදානමේ..

මල්වතු, යාන් ඔය සහ මහවැලි තවදුරටත් ගංවතුර අවදානමේ... විමසිලිමත්වන්නැයි ජනතාවට උපදෙස්..

by Staff writer 20-01-2025 | 8:06 AM

COLOMBO (News 1st)-මල්වතු ඔය, යාන් ඔය සහ මහවැලි ගඟ තවදුරටත් ස්ථාන කිහිපයකින් ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ජල ධාරිතාව 92% ඉක්මවා ඇතැයිද, අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර, අධික වැසි සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන්, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල මාර්ග රැසක ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, මඩකලපුව - පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා කොටස, වසා දමා ඇති බවයි.

ඒ, මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ය.

ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

මීට අමතරව, අද අලුයම ගසක් කඩා වැටීමෙන් මහනුවර -  ගම්පොල ප්‍රධාන මාර්ගය පේරාදෙණිය නගරය ආසන්නයෙන් අවහිර විය .

මේ අතර, දිස්ත්‍රික්ක 4 කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් බලාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ,  බදුල්ල, මහනුවර, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

මේ අතර,  උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය කවදුරටත් අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර සහ ඌව පළාත් වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි අපේක්ෂා කරන බවයි.

සෙසු ප්‍රදේශවල ද, තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් වලත්, උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල මෙන්ම, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල සුළං වේගය, පැයට කිලෝමීටර 40 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.