මෙරටට ඩොලර් බිලියන3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්

හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට බලශක්ති අමාත්‍යාංශය සහ චීන සයිනොපෙක් සමාගම ගිවිසුම්ගත වෙයි

by Staff writer 16-01-2025 | 3:26 PM

COLOMBO (News1st) - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව්දින චීන රාජ්‍ය සංචාරයේ තෙවැනි දිනය අදයි.

ජනාධිපතිවරයා අද(16) පෙරවරුවේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කරන ලද ආයෝජන සැසියකට සහභාගී විය.

එම සැසිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම විශේෂත්වයකි.

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ අයෝජනයට පැමිණෙන ලෙස සැසිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන අයෝජකයින්ට ආරාධනා කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, චයිනා ටියැන්යිං ඉන්කෝපරේෂන්, සීමාසහිත චයිනා හාබර් ඉංජිනේරු සමාගම, සීමාසහිත චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගම, චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව, සීමාසහිත මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම,චයිනා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව, සීමාසහිත චයිනා එනර්ජි ඉන්ටර්නැෂනල් සමූහ සමාගම,ගුවැන්ෂු පොදු ප්‍රවාහන සමූහය ඇතුළු චීනයේ ප්‍රමුඛ සමාගම් රැසක් මෙම ආයෝජන සැසියට එක්වු බවයි.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව්දින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද(16) පෙරවරුවේ සිදු විය.

මෙය අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් බව ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් ක‍ළේ ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනතාවගේ වීරයන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද නියමිතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(16) පස්වරුවේ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං හා චීන ජාතික කොංග්‍රසයේ සභාපති ජාඕ ලජී යන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

මේ අතර ජනාධිපතිවරයාගේ රාජ්‍ය සංචාරයට අදාළ ද්වීපාර්ශ්වීය ඒකාබද්ධ ප්‍රකාශය මෙරට වේලාවෙන් අද(16) පස්වරුවේ නිකුත් කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නිලූක කඳුරුගමුව මහතා පැවසුවේ රාජ්‍ය නායකයින් සාකච්ඡාවට ලක් කළ කරුණු සහ දෙරට අතර ආර්ථික, සමාජයිය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළව අත්සන් කළ අවබෝධතා ගිවිසුම් පිළිබඳ තොරතුරු එම ඒකාබද්ධ ප්‍රකාශය තුළ අන්තර්ගත වන බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(15) පස්වරුවේ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ද හමුවිය.