හදලා ඉවර නැති පාලමක් දිහා බලාගෙන හූල්ලන ජනතාව

හදලා ඉවර නැති පාලමක් දිහා බලාගෙන හූල්ලන තාලිගල සහ ලියන්ගස්තොට ජනතාව

by Staff writer 14-01-2025 | 10:37 PM

COLOMBO (News 1st) - අපේ රටේ හඬක් නැති - තමන්ගේ දුක කියන්න - අඩුපාඩු ගැන දැනුම් දෙන්න කෙනෙක් නැති අසරණ මිනිස්සු සොයාගෙන යන ගමනේ තවත් දිනයක් අද පසුකළා.

දිවයින පුරා විසිරී සිටින ගම්මැද්ද කන්ඩායම් අද හයවැනි දිනටත් ගම් - නියම් ගම් පුරා සැරිසරද්දී හමුවුණු නොවිසිඳුණු ගැටළු නම් මහ ගොඩක්.

හම්බන්තොට තාලිගල සහ ලියන්ගස්තොට යා කරමින් වලවේ ගඟ හරස් කරලා බාගෙට හදපු පාලම , වැඩ ආරම්භ කරලා 2018 දී ඉදිකිරීම් අවසන් කරනවා කිව්වට , තවමත් කොට උඩ.

ගම්වාසීන්ට තවත් කිලෝමීටර් 30ක් විතර යන්න වෙලා.

යතුරු පැදියකට විතරක් යන්න පුළුවන් පුංචි පාලමක් තිබුණත්, ඒකත් අබලන්.

මේ පාලම ගැන තොරතුරු හෙළි  වුණේ ගම්මැද්ද  කණ්ඩායම අද (14) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගෙයින් ගෙට ගියපු අවස්ථාවේ.

කාන්තාවක්
'' පාලම තියෙනවා නම් අපිට යන්න යනනේ විනාඩි 10 යි. මේ තියෙන පාලමත් හරි අබලන් පාලමක්. හරිම අපහසුතාවයක් තියෙන්නේ. මේක හදලා දෙනවානම් ලොකු දෙයක්. ගොඩක්ම දුශ්කර මේ මිනිස්සුන්ට මේ පාලම තමයි''

කෑගල්ල පොල්වත්තේ ගම්මුන්ට  පෝඩා ඔයෙන් එගොඩ වෙන එක ලෙහෙසි පහසු නැහැ..

අවුරුදු 30ක් තිස්සේ මේ ප්‍රශ්නය ගැන බලධාරියෙක්  ඇහැක් ඇරලා බලලත් නැහැ.

පවුල් 80ක්  ජීවත් වෙන ගමක්.

වගා කරපුව අරන් යන්න තියෙන එකම විදිහ තමයි මේ පාලම.

පාසල් යන දරුවනුත් දුක් විඳිනවා

ගම්මැද්ද කණ්ඩායමක් අද උදෑසන සිට පොළොන්නරුවේ ගෙයින් ගෙට යනවා.

කිරිල්ලිගේ වැව සහ දහම්වැව ගම්මානවලට ගියාම තමයි තේරුණේ , මහා වනයේ සද්දන්තයින්ගෙන් සිද්ද වෙන කරදර.

වන අලි විතරක්ම නෙමෙයි , බොන්න පිරිසිදු වතුර බිදක් නැති කම වගේම ,  ප්‍රවාහන පහසුකම් නැති නිසත් ගම්මු 
ඇත්තටම ඉන්නේ ජීවිතේ ගැන කල කිරිලා.

මුලතිව් දිස්ත්‍රික්කයේ වන්නි විලාන්කුලම් ගම්මානයේ මිනිස්සුත් දවස ගෙවන්නේ  අලි උවදුරට දිවි කැප කරන්න බලාගෙන.

හවස තුන වෙද්දි ගමට එන අලි , ජිවිත එක්ක සෙල්ලම් කරනවා.

ඒ පාරෙ බැරි වෙලාවත් අලියෙක් නිසා ජිවිතේ අවදානමකට වැටුනොත් , ඔහුගේ හෝ ඇයගේ ජිවිතය රැඳිලා තියෙන්නේ

ගමේ ඉදන් නගරෙට තියෙන පාරේ.

කිලෝමීටර 15 ක්

පාර හදල නැති නිසා නිසා ගම්මු කලකිරිලා ඉන්නේ.

ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතයේ 7 වෙනි දවස හෙට