සිහිනයක් මල්ඵල ගැන්වුණු දවසක්..

මොණරාගල මාලිගාතැන්න මහා විද්‍යාලයේ දරුවන්ගේ සිහිනයක් මල්ඵල ගැන්වුණු දවසක්..

by Staff writer 11-01-2025 | 7:49 PM

COLOMBO (News 1st) - මොණරාගල මාලිගාතැන්න මහා විද්‍යාලයේ දරුවන්ට අද අපූරු දවසක්.

මෙතෙක් කලක් බොන්න පිරිසිදු වතුර ටිකක් නොමැතිව සිටි ඔවුන්ගේ බලාපොරොත්තු මල්පල ගැන්වෙන බවට තහවුරු කරමින් ගම්මැද්ද කණ්ඩායම මොණරාගල මාලිගාතැන්න මහා විද්‍යාලයේදී ප්‍රති ආශ්‍රැත ජල පෙරන පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා මුල්ගල් තැබුවේය.

මොණරාගල දිස්ත්‍රික්කයේ මාලිගාතැන්න මහා විද්‍යාලය ළමුන් 1,340 ක් පමණ ඉගෙනුම ලබයි.

කලට පටන් පාසලේ දරුවන් දුක් විදින්නේ බොන්න පිරිසිදු  වතුර ටිකක් නොමැතිවීමෙන් .

මේ වෙනකොට ළමුන් කිහිප දෙනෙක්ම වකුගඩු රෝගීන් බවට පත්ව තිබේ.

සිසුන් පමණක් නොවෙයි මාලිගාතැන්න ගම්මානයේ තවත් කිහිප දෙනෙකුටම වකුගඩු රෝගය වැළදිලා.

පවුල් 450 පමණ මෙම ගම්මානයේ ජීවත් වේ.

බොන්න වතුර , සල්ලිවලට ගන්න තිබුනත් ඒවා ගන්න තරම් ගම් වැසියන්ගේ ආර්ථිකය ශක්තිමත් නැහැ.

මාලිගාතැන්න විද්‍යාලයේ  විදුහල්පතිවරයාගේ ඉල්ලීමකට අනුව මේකට විසදුමක් දෙන්න  ගම්මැද්ද අද වැඩ ආරම්භ කළේ ය.

වැඩසටහන ආරම්භ කෙරුණේ මහා සංඝරත්නයේ ආශිර්වාදය සහිතවයි.

ඒ අනුව මාලිගාතැන්න විද්‍යාලයේ සිසුන්ටත් ගම්වාසීන්ටත් ප්‍රති ආශ්‍රැත ජල පෙරන පද්ධතියක් ලබා දීමට අද ගම්මැද්ද මුල් ගල තැබුවේ ජනතාවට අලුත් බලාපොරොත්තුවක් ලබා දෙමින්.

මේ ව්‍යාපෘතියට මූල්‍ය අනුග්‍රහය  ලබා දෙන්නේ රාජගිරියේ පදිංචි මන්ත්‍රී අමරසිංහ මහත්මියයි

මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ගම්මැද්ද ජ්‍යේෂ්ඨ නියෝජිත සහ නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ගයාන් සම්පත් , මොණරාගල  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. කේ හර්ෂණී සමීරා , බඩල්කුඹුර වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. ඒ. ඩී එන් සමරසිංහ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් දුෂාන්ත සිරිමෙවන් යන මහත්ම මහත්මීන්, ගම්මැද්ද මහලේකම් ප්‍රසන්න අතුකෝරළ ඇතුළු කණ්ඩායම මෙන්ම රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියේ ය.


බොන්න පිරිසිදු වතුර  එක්ක මාලිගාතැන්න පාසල් සිසුන්ගේත් ගම්වාසීන්ගේත් ජීවිත ලස්සන වෙනවා දැකීම  ගම්මැද්ද අපේ අධිෂ්ඨානයයි.