COLOMBO (News 1st) - නවසීලන්තය සමග පැවැති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 140කින් අද(11) ජය ගෙන තිබේ.
ඕක්ලන්ඩ්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේ ය.
වේගවත් ආරම්භයක් ලබා ගත් පැතුම් නිස්සංක අද වාර්තා කළේ 16වැනි එක්දින අර්ධ ශතකයයි.
ලකුණු 50ක් රැස් කරගෙන සිටියදී ආබාධයකට ලක්ව පැතුම් පිටියෙන් ඉවත් විය.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 17යි.
කුසල් සහ කමිදු මෙන්ඩිස් සංයෝගය තුන්වැනි කඩුල්ලට ලකුණු 87ක සබඳතාවයක් ගොඩනැගුවේ ය.
කුසල් මෙන්ඩිස් ලකුණු 54යි.
කමිදු ලකුණු 46ක් රැස් කළේ ය.
මැදපෙළ ශක්තිමත් කළේ යළි පිටියට පැමිණි පැතුම් නිස්සංක සමග එක් වූ ජනිත් ලියනගේයි.
පැතුම් ලකුණු 66ක් රැස් කළේ ය.
ජනිත් ලියනගේ ලකුණු 53යි.
ශ්‍රී ලංකාව පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස් කළේ ය.
නවසීලන්ත පිළිතුරු ඉනිමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලැබුණේ නොසිතූ පිළිගැනීමකි.
විල් යංග් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියේ මහීෂ් තීක්ෂනගේ පන්දුවක් හමුවේයි.
රචින් රවීන්ද්‍ර එක් ලකුණකට දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් විය.
එෂාන් මාලිංගගේ පන්දුවක් හමුවේ ඩැරිල් මිචෙල් දැවී ගියේ ලකුණු 2කටයි.
හයවැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ අසිත ප්‍රනාන්දු ටොම් ලේතම් සහ ග්ලෙන් ෆිලිප්ස් ලකුණු ලබා ගැනීමට පෙර ක්‍රීඩාගාරයට හරවා යැව්වේ ය.
හුදකලා ඉනිමක් ක්‍රීඩා කළ මාක් චැප්මන් ලකුණු 81යි.
අන් කිසිදු පිතිකරුවෙක්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට ඉඩ ලැබුණේ නැත.
අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ සහ එෂාන් මාලිංග කඩුලු 3 බැගින් බිඳ හෙළුවේ ය.
නවසීලන්තයට පන්දුවාර 29යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 150ක් පමණි.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව, නවසීලන්තයට එරෙහිව දෙවැනියට වැඩිම ලකුණු පරතරයකින් ලැබූ ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක්විය.
අවසන් තරගයේ ජය ශ්‍රී ලංකාව එලෙස හිමි කර ගත්ත ද තරග 2ට 1ක් ලෙස තරගාවලියේ ජය හිමිවූයේ සත්කාරක නවසීලන්තයටයි.