ලැව් ගිනි හේතුවෙන් අමෙරිකාවේ හදිසි තත්ත්වයක්...

බටහිර අමෙරිකාවේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන්, අමෙරිකාවේ හදිසි තත්ත්වයක්...

by Staff writer 08-01-2025 | 6:08 PM

COLOMBO (News 1st) - බටහිර අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ආසන්නයෙන් පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වනවිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ ඇති වූ ලැව් ගින්නෙන් පැය කිහිපයකින් අක්කර 10 සිට අක්කර 2,900කට වැඩි ප්‍රදේශයක් විනාශ වීමත් සමගයි.

මේ අතර නිවාස සහ ගොඩනැගිලි 13,000ක වෙසෙන පුද්ගලයින් 30,000කට වැඩි පිරිසක් කඩිනමින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.

පලාගිය ඇතැම් පිරිස් සිය රථවාහන පවා අත්හැර දමාගිය  අතර, එලෙස අත්හැර ගිය රථවාහන හේතුවෙන් ඇතිවූ මාර්ග අවහිරතා ඉවත්කිරීමට බැකෝ යන්ත්‍ර පවා යොදා ගැනීමට සිදුවිය.

බටහිර අමෙරිකාවේ මෙලෙස ලැව්ගිනි ව්‍යාප්ත වන්නේ , එරට නැගෙනහිර සහ මධ්‍යම කලාපවලට හිම කුණාටු තත්ත්වයක් ද බලපා ඇති පසුබිමකයි.

පැසිෆික් සාගරයට මුහුණලා පිහිටි සුඛෝපභෝගී කලාපයක් වන පැසිෆික් පැලිසේඩ් හි ඇති වූ මෙම ලැව් ගින්න සැන්ටා මොනිකා සිට මාලිබූ කලාපය දක්වා ව්‍යාප්ත වී තිබේ.

ශීත සමයේ වුවත් කැලිෆෝනියා හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 දක්වා ඉහළ ගොස් ඇතැයි ද වාර්තාවේ.

ලොස් ඇන්ජලීස් නුවර ආශ්‍රිත පුද්ගලයින් 30,000කට පමණ වහාම සිය නිවෙස්වලින් ඉවත්වන්නැයි ද දැනුම් දී තිබේ.

තවත් පුද්ගලයින් මිලියනයකට වැඩි පිරිසකට, ලැව් ගිනි අවදානම් සම්බන්ධයෙන් රතු නිවේදන ද නිකුත් කෙරිණි.

‍මේ වනවිට ලොස් ඇන්ජලිස් ප්‍රාන්තයේ පාරිභෝගිකයින් ලක්ෂ දෙකකට වැඩි පිරිසකට විදුලිය සැපයුම ද බිඳ වැටී ඇති බවද, විදෙස් වාර්තා අනාවරණය කළේ ය.