අල්ලස් සිද්ධීන්වලට අදාළ නඩු කටයුතු විභාගයට ගැනීම තම අධිකරණයට පැවරී ඇති කටයුත්තක් නමුත් ඉහත සඳහන් කළ කරුණ හේතුවෙන් එම නඩු කටයුත්ත විනිශ්චය කිරීමට තමාට හැකියාවක් නොමැති බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
එම නඩුව විභාගයට ගැනීම සඳහා වෙනත් සුදුසු මහේස්ත්‍රාත්වරයකු පත් කරන ලෙසද ඉල්ලා සිටින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ එම නඩු කටයුත්ත සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හෝ තමාගේ කිසිදු සබඳතාවයක් නොමැති බවයි.
රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා ඉකුත් 28 දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
කෝට්ටේ මාදිවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව එහි විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් මාදිවල ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.