ආණ්ඩුවේ ආර්ථික ස්ථායීකරණයට බ්‍රිතාන්‍යයේ ප්‍රශංසාව

ආණ්ඩුවේ ආර්ථික ස්ථායීකරණයට බ්‍රිතාන්‍යයේ ප්‍රශංසාව..

by Staff writer 21-12-2024 | 7:40 AM

COLOMBO (News 1st)–

බලයට පත්ව කෙටි කාලයක් තුළ ආණ්ඩුවේ ආර්ථික ස්ථායීකරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පැසසිය යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා පවසයි.

මහ කොමසාරිස්වරයා පැවසුවේ, රට නිවැරැදි ආර්ථික දිශානතියක ගමන් කරමින් සිටින බව නීරීක්ෂණය වන බවයි.

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සමග මුදල් අමාත්‍යාංශයේ දී පැවැති හමුවකදී මහ කොමසාරිස්වරයා ඒ බව සඳහන් කළේ ය.

මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ, එහිදී දෙපාර්ශ්වය අතර සුහදව කරුණු සාකච්ඡා කෙරුණු අතර ආචාර්ය සූරියප්පෙරුම මහතා පවතින ආර්ථික තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව මහකොමසාරිස්වරයා හමුවේ කරුණු පැහැදිලි කළ බවයි.

මෙරට භාණ්ඩ බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ වෙත අපනයනය කිරීම සඳහා උපරිම සහය දීමට සූදානම් බව එහිදී මහකොමසාරිස්වරයා පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා එහිදී පවසා ඇත්තේ, ලබන වසරේ මුල් කාලයේ දී ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම අරමුණු කරගෙන ව්‍යාපාරිකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බවයි.

මෙරට කාබනික කෘෂිභෝග මෙන්ම ඇඟලුම්, කෘෂි නිෂ්පාදන, ස්වභාවික රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ තුළ ඉඩක් පවතින බවද පැට්‍රික් මහතා එහි දී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් පැසසුම් එක් කළ මහකොමසාරිස්වරයා කෙටි කාලීනව ආර්ථිකය ස්ථාවර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.