පාවී ආ බෝට්ටුවේ සිටි විදේශියකයින් ගොඩබිමට

වයික්කාල් මුහුදු තීරයට පාවී ආ බෝට්ටුවේ සිටි විදේශියකයින් ගොඩබිමට

by Staff writer 20-12-2024 | 3:59 PM

COLOMBO (News 1st) - මුලතිව්, වෙල්ලමුල්ලෙ වයික්කාල් මුහුදු තීරයට පාවී ආ බෝට්ටුවේ සිටි විදේශිකයින් 115 දෙනා ගොඩබිමට රැගෙනවිත් තිබේ.

ඒ අතර ළමුන් 45ක්, කාන්තාවන් 24ක් හා පිරිමි පුද්ගලයින් 46ක් ඇත.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ, ඔවුන් පැමිණි බෝට්ටුව ත්‍රිකුණාමල වරායට අද අලුයම රැගෙන ආ බවයි.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ, අදාළ පිරිස මියන්මාරයේ සිට පසුගිය 04 වැනි දා මෙරටට පැමිණීමට බෝට්ටු තුනකින් පිටත්ව ඇති බවයි.

ඉන් බෝට්ටු දෙකක් මුහුද මැද දී කාර්මික දෝෂවලට ලක්ව තිබේ.

එහි සිටි පිරිස පසුව එක් බෝට්ටුවකට නංවාගෙන මෙරට බලා පැමිණ ඇති බව ඔවුන් ප්‍රකාශ කළ බව පොලීසිය සඳහන් කළේ ය.

කෙසේ වෙවත් අතරමගදී එහි සිටි ළමයෙකු කාන්තාවන් දෙදෙනෙකු  ඇතුළු පුද්ගලයින් 5ක් මියගොස් තිබේ.

ඔවුන්ගේ සිරුරු මුහුදට දැමූ බව සරණාගතයින් පිරිස ප්‍රකාශ කළ බව පොලීසිය සඳහන් කළේ ය.

මේ අතර එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ඔවුන්ට අවශ්‍ය මනුෂිය ආධාර ලබාදී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක නිලුක කදුරුගමුව මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, යාත්‍රාවේ සිටි පිරිස මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කර ඉදිරි පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එම බෝට්ටුවේ මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදට ගසාගෙන ආවේ ඊයේ (19) දහවල් කාලයේදීයි.