ලයිබීරියා කතානායක පොලිස් භාරයට

ලයිබීරියා පාර්ලිමේන්තුවේ ඇති වූ ගින්න ගැන ප්‍රශ්න කිරීමට කතානායක පොලිස් භාරයට..

by Staff writer 19-12-2024 | 11:39 PM

COLOMBO ( News 1st ) - ලයිබිරියා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් එරට පොලීසිය කතානායක ජොනතන් ෆොනාටි කොෆා ප්‍රශ්න කිරීම සදහා සිය භාරයට ගෙන තිබේ.

එරට මාධ්‍ය වාර්තා කළේ,  පාර්ලිමේන්තු මන්ත්‍රී ෆ්‍රෑන්ක් සා ෆෝකෝ ද ප්‍රශ්ණ කිරීම සදහා පොලිසිය භාරයට ගෙන ඇති බවයි.

දේශපාලන අර්බුද මෙන්ම මහජන විරෝධතා ද පැවැත්වෙන අතරතුර ලයිබීරියානු පාර්ලිමේන්තුව ගිනි ගෙන තිබුණි.

2025 අයවැය සම්මත කිරීමට රජය අපොහොසත් වීමෙන් පසුව කථානායකවරයා ධුරයෙන් ඉවත් කිරිමට රජය සූදානම්වූ අතර ඊට ඇතැම් දේශපාලන පක්ෂ විරෝධය පල කළේ ය.

පාර්ලිමේන්තුව ගිනි ගැනීමට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ෆෑන්ක් සා ෆෝකෝ සිය සමාජ මාධ්‍යයට විඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ පාර්ලිමේන්තුව ඇවිලීමට අවශ්‍ය නම් තමන් ඊට සූදානම් බවයි.

කෙසේනමුත් මෙලෙස පාර්ලිමේන්තුව ගිනි ගැනීමත් සමග ඒ සම්බන්ධ පරික්ෂණ කටයුතු සඳහා පාර්ලිමේන්තු නියෝජිත ෆ්‍රෑන්ක් සා ෆෝකෝ පොලිස් ප්‍රශ්න කිරිම් සඳහා ගෙන්වා තිබේ.

කථානායක ජොනතන් ෆොනාටි කොෆා ද පොලිස් ප්‍රශ්න කිරිම් සඳහා ගෙන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ සම්බන්ධයෙන් ලයිබිරියානු ජනාධිපතිවරයා ශෝකය පල කරමින් පැවසුවේ,  මේ සම්බන්ධ පරික්ෂණ කටයුතු සිදු කිරීමට ආරක්ෂක අංශවලට ලබා දී ඇති බවයි.

කිසියම් අයෙකු විමර්ශනවලට සහය දක්වමින් තොරතුරු ලබා දෙන්නේ නම් ඒ සඳහා මුදල් ත්‍යාගයක් ලෙස ඩොලර් 5000 ක මුදලක් පිරිනැමිමට ද ලයිබිරියා රජය තීරණය කර තිබේ.