ජනපති අනුර සහ අගමැති මෝදි අතර හමුව අද...

ජනපති අනුර සහ අගමැති මෝදි අතර හමුව අද...

by Staff Writer . 16-12-2024 | 7:38 AM

COLOMBO (News 1st) - ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව අද (16)  සිදුවේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, එහිදී දෙරටට වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

මේ අතර, ජනාධිපතිවරයා ඊයේ (15) පස්වරුවේ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් යන මහත්ම මහත්මීන් හමුවිය.

ඒ, ජනාධිපතිවරයා නවාතැන් ගෙන සිටින හෝටලයේදීයි.

ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් මහත්මිය අතර පැවති හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා පැවැති බව, ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

ඊට අමතරව, ඉන්දියානු සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම, ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද, එහිදී සාකච්ඡා වී ඇතැයි සඳහන් වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර්  මහතා අතර හමුව ඉතා සුහදශීලි ලෙස පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය ඇති කිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළෙඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳ එහිදී අවධානයට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, මෙරට සංචාරක, ආයෝජනය සහ බලශක්ති ක්ෂේත්‍ර සඳහා  සහාය දැක්වීමට ඉන්දියානු රජය එකඟතාවය පළ කරන බව එහිදී ආචාර්ය එස්.ජයිශංකර් මහතා  කියා සිටි බවයි.

ධීවර කර්මාන්තය සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම ඇතුළු අන්‍යොන්‍ය  වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳව ද එම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණි.

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බැහැ දැක කලාපීය ආරක්ෂාව පිළිබඳ  සාකච්ඡා කර තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියේ ය.