දකුණු බෙංගාල බොක්කේ යළිත් අඩු පීඩන කලාපයක්

දකුණු බෙංගාල බොක්කේ යළිත් අඩු පීඩන කලාපයක්.. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනාවැකි

by Staff writer 07-12-2024 | 12:16 PM

COLOMBO (News 1st) - දකුණු බෙංගාල බොක්කේ මධ්‍යම ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් අද (07) දිනයේ නිර්මාණය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබේ.

මෙම පද්ධතිය බටහිර වයඹ දෙසට ගමන් කර ලබන 12 වැනි දා පමණ වනවිට ශ්‍රී ලංකා තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරත දිග බෙංගාල බොක්ක ප්‍රදේශය වෙත ළඟා වීමට නියමිතයි.

මේ පිළිබඳව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නාවික හා ධීවර ප්‍රජාව අවධානය යොමු කළ යුතු බව ද කාලගුණ අනාවැකියේ දැක්වේ.

මේ අතර නැගෙනහිර තරංගාකාර කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දිනවලදි දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මෙහි බලපෑමෙන් ලබන 10 වැනි දා සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකියි.

දිවයින හරහා ඊසාන දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

මේ අතර ඊසාන දිග මෝසම ස්ථාපිත වීමත් සමග කාලගුණයට සිදුවන බලපෑම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හදිසි සාකච්ඡාවක් අද (07) පැවැත්වේ.

ඒ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මුලිකත්වයෙනි.

එහි පෙර සුදානම් අංශයේ අධ්‍යක්ෂ, චතුර ලියනාරච්චි මහතා සඳහන් කළේ, ඔන්ලයින් ඔස්සේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් ආපදා කළමණාකරන බලධාරීන්, විභාග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි වන බවයි.

එහිදී ඉදිරි මෝසම් සමයේ කාලගුණ අනාවැකි පදනම් කර ගනිමින් ආපදා කළමනාකරණය සඳහා පෙර සුදානම් විය යුතු ආකාරය පිළිබදව දැනුවත් කෙරෙනු ඇති.