නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි..

by Staff writer 02-12-2024 | 10:49 AM

COLOMBO (News 1st) –දිස්ත්‍රික්ක 9ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයකට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, බදුල්ල, කොළඹ, ගම්පහ,නුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

මේ අතර, පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 60 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් සිට ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහළ යා හැකි ය.

පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ, මීටර 2.5 ත් 3 ත් දක්වා ඉහළ යා හැකි වෙයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පවතින්නේ, වැසි රහිත කාලගුණයකි.

මේ අතර දැඳුරුඔය ,පෙල්ගොල්ල සහ වෙහෙරගල ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘතව පවතිනු ඇති .

අධික වැසි සහිත කාලගුණයෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 139,439 ක පුද්ගලයින් 469,872 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පවුල් 3114 කට අයත් පුද්ගලයින් 10,204 ක් තවදුරටත් ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින බවයි.

වාර්තා වූ මරණ සංඛ්‍යාව, 17 කි.

පූර්ණ නිවාස හානි 103ක් සිදුව තිබේ.

අර්ධ නිවාස හානි සංඛ්‍යාව, 2715 කි.