අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්..

පාසල් සංවර්ධන නිලධාරීන් රජයේ වෙනත් කාර්යාල වෙත අනුයුක්ත කිරීම අත්හිටුවීමට කටයුතු කරනවා - අධ්‍යාපන අමාත්‍යාංශ

by Staff writer 01-12-2024 | 6:47 PM

COLOMBO ( News 1st ) - පාසල් සංවර්ධන නිලධාරීන් රජයේ වෙනත් කාර්යාල වෙත අනුයුක්ත කිරීම අත්හිටුවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සහතික වී තිබේ.

ඒ, පාසල් සංවර්ධන නිලධාරී සංගම් කිහිපයක නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ය.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්වුණි.

පාසල් සංවර්ධන නිලධාරීන් මෙන්ම උපාධිධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ මතුව ඇති ගැටලුව පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේදී ශ්‍රේෂඨාධිකරණය පෙන්වා දී ඇති පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයන්ට යටත්ව ක්‍රියා කළ යුතු බව දෙපාර්ශවය එහිදී පෙන්වාදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ය.

ඒ අනුව තරග විභාගයක් පවත්වා බඳවා ගැනීම් සිදු කළ යුතු බවත් එහිදී වයස් සීමාව උපරිම අවුරුදු 45ක් දක්වා සලකා බැලීමට හැකි බවද එහිදී අවධාරණය කෙරිණ.