අද සිට වැසි අඩු වන බවට කාලගුණයෙන් අනාවැකි...

අද සිට වැසි අඩු වන බවට කාලගුණයෙන් අනාවැකි...

by Staff writer 29-11-2024 | 6:47 AM

COLOMBO (News 1st) –වැසි තත්ත්වයේ අඩු වීමක් අදින් පසු අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ , නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම  ක්‍රමයෙන් අවම වීම හේතුවෙන් ය.

එම ගැඹුරු පීඩන අවපාතය වයඹ දෙසට බරව ගමන් කර තමිල්නාඩුවට ඇතුළු වනු ඇතැයි කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

අද දිනයේදිත් උතුරු සහ උතුරු මැද පළාත්වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් වැසි ඇතිවිය හැකි ය.

උතුරු පළාතේ ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලටත් ගාල්ල මාතර  මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලටත් වැසි ඇතිවිය හැකි වෙයි.

උතුරු , උතුරු මැද, වයඹ, නැගෙනහිර මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝ මීටර් 60 ක් පමණ දක්වා තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. 

මේ අතර අධික වැසි සහිත කාලගුණයෙන් දිස්ත්‍රික්ක 24කට බලපෑම් එල්ලවී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ පුද්ගලයින් හාර ලක්ෂ 1707 කට මින් බලපෑම් එල්ලවී ඇති බවයි.

අධික වැසි සමග ඇතිවූ ආපදාවලින් පුද්ගලයින් 12 දෙනෙකුට දිවි අහිමිවී තිබේ.

පුද්ගලයෙකු අතුරුදන්වී ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 18 කි.

සුරක්ෂිත මධ්‍යස්ථාන 345ක පුද්ගලයින් 36,330 දෙනෙකු රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කළේ ය.  

නිවාස 102කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 1,952කි.

මේ අතර, දැදුරුඔය , හැඩඔය , මුන්දෙණිආරු , මහඔය සහ මහවැලි ගඟ සඳහා නිකුත් කළ ගංවතුර අවදානම් නිවේදනය ඉදිරි පැය 48 සඳහා යළි දීර්ඝ කර තිබේ.

යාන් ඔය හොරොව්පතාන ප්‍රදේශයෙන් තවදුරටත් පවතින්නේ සුළු ගංවතුර මට්ටමේ ය.

පවතින අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 04ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසකට නිකුත් කළ නායයෑම් පිළිබඳ රතු නිවේදනය තවදුරටත් බලාත්මකයි.

මහනුවර , මාතලේ , නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත් ය.