ෆෙංගල් කුණාටුව නිසා ඉන්දියාවට දැඩි බලපෑම්

ෆෙංගල් සුළි කුණාටුවෙන් ඉන්දියාවේ ප්‍රදේශ රැසකට බලපෑම්

by Staff writer 28-11-2024 | 8:10 AM

COLOMBO ( News 1st ) - ෆෙංගල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ඇතුළු ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබේ.

ෆෙංගල් සුළි කුණාටුව හේතුවෙන් ඊයේ (27) සිට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළාසන්න ප්‍රදේශවල වැසි තත්ත්වයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

වර්ෂාධික කාලගුණ තත්ත්වය දෙසැම්බර් 1වැනි දා පමණ වනතුරු බලාපොරොත්තු විය හැකි බව ඉන්දීය කාලගුණ අංශ පුරෝකතනය කළේ ය.

තමිල්නාඩු, පුදුචේරි සහ චෙන්නායි ඇතුළු ප්‍රදේශ කිහිපයකට සුළි කුණාටුවෙන් වැඩිම බලපෑම් එල්ල වනු ඇතැයි සඳහන් වේ.

වර්ෂාධික සහ දැඩි සුළං සහිත කාලගුණය හමුවේ තමිල්නාඩු සහ පුදුචේරි ඇතුළු ප්‍රදේශ රැසක පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන වසා දමා තිබේ.

ධීවරයින් සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කරමින් ඉන්දීය කාලගුණ අංශ දැනුම් දී ඇත්තේ, මුහුදු යාමෙන් වළකින ලෙසත් බහුදින ධීවර යාත්‍රාවලට හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙසයි.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීම හමුවේ එය ෆෙංගල් සුළිකුණාටුව ලෙස නම් කෙරුණි.