COLOMBO (News 1st) - ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අද (27) සිට සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වී තිබේ.
ඒ, වසරකට අධික කාලයක් දෙරට රුධිරයෙන් නැහැ වූ කුරිරු යුද්ධය නිමාවට පත් කරමිනි.
පසුගිය මැයි මාසයේදී ඉදිරිපත් කළ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කළේ ය.
ඔහු සඳහන් කළේ, අමෙරිකාවේ සහ ප්‍රංශයේ පූර්ණ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක සාකච්ඡා සාර්ථක වී සටන් විරාමයකට එළඹීම ඓතිහාසික අවස්ථාවක් බවයි.
ගිවිසුම සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා අමෙරිකාව සමග එක්ව කැපවන බව ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්රෝන් ද සඳහන් කළේ ය.
සටන් විරාම ගිවිසුමට අනූව මාස 2ක් ඇතුළත, ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා ඉවත් කරගත යුතුයි.
ලෙබනන දේශසීමා ආශ්රිත භූමියට එරට හමුදා අනුයුක්ත කර ස්වෛරී පාලනයක් පවත්වා ගැනීම ද එක් කොන්දේසියකි.
යුද බිමක් බවට පත්වූ සිය නිවෙස්වල නැවත පදිංචි වීමට මේ හරහා දෙරටේම ජනතාවට හැකි වේ.
ඊශ්‍රායල - හිස්බුල්ලා යුද ගැටුම් ආරම්භ වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් 08 වැනි දායි.
ඒ, ඊශ්‍රායල - හමාස් යුද්ධයේ දිගුවක් ලෙසයි.
එතැන් පටන් මේ දක්වා, ලෙබනනයේ පුද්ගලයින් 3823ක් සහ ඊශ්‍රායලයේ පුද්ගලයින් 126 දෙනෙකු මියගොස් ඇත.
ඒ අතරට ළමුන් 1800ක් ඇතුළත් ය.
හිස්බුල්ලා සටන්කාමීන් 3000ක් පමණ යුද්ධයෙන් මිය ගියේ ය.
ඝාතනයට ලක් වූ ඊශ්‍රායල සෙබළුන් සංඛ්‍යාව, 80 කි.
ලෙබනනයේ අවතැන් වූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 1.4කට අධිකයි.
ඊශ්‍රායල වැසියන් 96000 කට ද උන් හිටි තැන් අහිමි විය.
නිවාස සහ ගොඩනැගිලි ලක්ෂ ගණනක්, යුද නටඹුන් බවට පත්ව ඇත්තේ අධ්‍යාපන මෙන්ම රැකියා අවස්ථා ද ජනතාවට අහිමි කරමිනි.
හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායල හමුදා දැවැන්තම ප්‍රහාරය එල්ල කළේ, පසුගිය සැප්තැම්බර් 27 වැනි දායි.
එදින ඊශ්‍රායල හමුදා හිස්බුල්ලා මූලස්ථානට එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින්, හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය කෙරුණි.
අනතුරුව ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනය ආක්‍රමණය කළේ, එහි පූර්ණ බලය සියතට ගනිමිනි.
තරමක් පසුබෑමට ලක්වූ හිස්බුල්ලා සටන්කාමීන් නව නායකත්වයක් සමගින් යළි යුදබිමට පැමිණීමත් සමග මේ දක්වාම දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් පැවතියේ ය.
කෙසේ වෙතත් අද සිට දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වන්නේ ගෝලාන් කඳුකරය යට භීතියෙන් ඇළලෙන ජීවිතවලට සාමයේ පණිවුඩය රැගෙන එමිනි.