ඉම්රාන්ගේ නිදහස වෙනුවෙන් පාකිස්තානය පුරා විරෝධතා.

හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තානය පුරා විරෝධතා..

by Hashini De Mel 25-11-2024 | 6:46 PM

COLOMBO ( News 1st ) - හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තානය පුරා විරෝධතා පැවැත්වේ.

විරෝධතාකරුවන් දහස් ගණනක් මේ වනවිට පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර දෙසට ගමන් කරමින් සිටී.

සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතා පවත්වමින්  ඔහුගේ ආධාරකරුවන් ඉස්ලාමාබාද් නුවරට යමින් සිටින අතර විරෝධතාකරුවන් ඉස්ලාමාබාද් නුවරට යාම වැළැක්වීම සඳහා පකිස්තානයේ අගනුවරට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබේ.

මීට අමතරව පකිස්ථාන ටෙක්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය විසින් සංවිධානය කළ විරෝධතා හේතුවෙන් ගැටුම් පවතින ප්‍රදේශවල ජංගම සහ අන්තර්ජාල සේවාද අත්හිටුවා ඇත.

ඉස්ලාමාබාද්හි බොහෝ ප්‍රධාන මාර්ගද,  නැව් බහාලුම් යොදාගෙන අවහිර කර ඇති අතර පාගමනින් පාර්ලිමේන්තුවට ළඟා වීම වැළැක්වීම සඳහා කැරලි මර්දන මෙන්ම විශාල පොලිස් භට පිරිස්ද යොදවා තිබේ.

නීතිමය විධිවිධාන යටතේ රැස්වීම් තහනම් කර ඇති බව ඉස්ලාමාබාද් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

මොවුන්ගේ ඉල්ලීම් ලෙස ඉම්රාන් ඛාන් ඇතුළු සියලුම නායකයින් නිදහස් කිරීම මෙන්ම මේ වසර මුලදී දූෂිත මැතිවරණයකින් පත්වූ  අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් වත්මන් ආන්ඩුව ඉල්ලා අස්වීම ද ඇතුළත් ය.