උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම් දීමක්...

ආපදා තත්ත්වයක් නම් ළඟම විභාග මධ්‍යස්ථානයේදී උසස් පෙළට මුහුණ දිය හැකියි - විභාග දෙපාර්තමේන්තුව

by Hashini De Mel 25-11-2024 | 6:33 PM

COLOMBO ( News 1st ) - අධික වැසි සමග ඇතිවිය හැකි ආපදා තත්ත්වයකදී ආසන්නතම විභාග මධ්‍යස්ථානයේදී සිසුන්නට විභාගයට පෙනී සිටිය හැකි බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සියලු උසස් පෙළ විභාග අපේක්ෂකයින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

තමන්ට නියමිත මධ්‍යස්ථානයෙන් බැහැරව ආසන්නතම මධ්‍යස්ථානයකදී විභාගයට පෙනී සිටින්නේ නම්, ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතුයි.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ආපදා තත්ත්වයක් යටතේ පමණක් එම අවස්ථාව සලසා දී ඇති බවයි.

මේ දක්වා ආපදා තත්ත්වයන් හේතුවෙන් උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට බාධා එල්ල වූ බවට වාර්තා නොවන බවද, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද(25) උදෑසන ආරම්භ විය.

දෙසැම්බර් 20 වැනිදා දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි.

මෙවර විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 333,185ක්.

ඒ අතරට පාසල් අයදුම්කරුවන් 253,390 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත්.

දිවයින පුරා ස්ථාපිත විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 2,312 ක්.