ශිෂ්‍යත්වය ගැන අලුත්ම නිවේදනය මෙන්ම..

ආන්දෝලනය තුඩු දුන් ශිෂ්‍යත්ව විභාගය ගැන රජයේ ස්ථාවරය ලබන 02 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට - අධ්‍යාපන අමාත්‍යාංශය

by Staff writer 25-11-2024 | 11:34 AM

COLOMBO (News 1st) -

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ලබන 02 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටු තුනකින් ලබා දුන් නිර්දේශ ද අදාළ ස්ථාවරයට පාදක කරගන්නා බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, එම කරුණු සැලකිල්ලට ගනිමින් රජයේ ස්ථාවරය නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමට පියවර ගන්නා බවයි.

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 18 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

ඒ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4 ක් සලකා බැලූ අවස්ථාවේදී ය.

මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබුවේ ය.

අතුරු තහනම් නියෝග ලබා දෙමින් විනිසුරු මඬුල්ල, ශිෂ්‍යත්ව විභාගයේ පළමු වන ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවත එය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බලධාරීන්ගෙන් කරුණු විමසා අධිකරණයට දැනුම් දෙන ලෙස වගත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතාට දැනුම් දුන්නේ ය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ, පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීම හේතුවෙන් අපේක්ෂකයින්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බවයි.

එමනිසා පෙත්සම්කාර සිය සේවාදායකයින් පෙත්සමෙන් ඉල්ලා ඇති සහන ප්‍රධානය කළ යුතු බවත් නීතීඥවරු අධිකරණය හමුවේ පවසා සිටියේ ය.