මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්ත්‍රීවරියන් 21ක් ,වැඩිම පිරිස මාලිමාවෙන්...

by Staff writer 16-11-2024 | 9:00 PM

COLOMBO (News 1st) - මෙරට ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුව පිහිටුවීමට, මෙවර හැකිව ඇත.ඒ, කාන්තාවන් 21 දෙනෙකුට, මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු අසුන් හිමිකර දෙමින්.

ශ්‍රී ලංකාවට සර්ව ජන ඡන්ද බලය හිමිවූයේ 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හරහායි.

ඒ අනුව පළමු ව්‍යවස්ථාදායකය වන රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූ පළමු කාන්තාව වන්නේ, රුවන්වැල්ල ආසනය වෙනුවෙන් පැවති අතුරු මැතිවරණයෙන් ජයගත් ඇඩ්ලින් මොලමුරේ මහත්මියයි.

එතැන් පටන් පැවති කිසිදු පාර්ලිමේන්තු මැතිවරණයකදී සියයට 6 ඉක්මවූ කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තු වරම් ලබා නොමැත.

මෙරට පාර්ලිමේන්තුවකට එකවර පත්ව ඇති වැඩිම මන්ත්‍රීවරියන් සංඛ්‍යාව, 13 කි.

ඒ අනුව මෙවර පාර්ලිමේන්තු වරම් ලබාගත් කාන්තාවන් 21 දෙනෙකු අතුරින් 19 දෙනෙකුම, ජාතික ජන බලවේගයෙන් තරග කළ කාන්තාවන්.

ඒ අතරට නීතිඥවරියන්, 10 දෙනෙකු ඇතුළත්.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඡන්ද 655,289 ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

කොළඹින් තරග වැදුණු ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ද, මෙවර පාර්ලිමේන්තු වරම් දිනා ගත්තේ, ඡන්ද 80,814 ක් ලබා ගනිමින්.

කොළඹින් තේරී පත්වූ අනෙක් මන්ත්‍රීවරිය වූයේ සමන්මලී ගුණසිංහ මහත්මියයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා විශේෂවේදී උපාධිධාරිනියක වූ  ඇය ලබාගත් මනාප ප්‍රමාණය 59,657 ක් .

කළුතරින් තරග වැදුණු නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය ද, මනාප  131,375 ක් ලබා ගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වුය.

කළුතරින් තේරී පත්වූ අනෙක් මන්ත්‍රීවරිය වූයේ, ව්‍යවසායකයෙකු වන ඔෂානී උමංගා මහත්මියයි.

ඇය ලැබූ මනාප සංඛ්‍යාව, 69,932 ක්.

ගම්පහින් තරග වැදුණු ගුරුවරියක් වන හේමාලි සුජීවා මහත්මිය, මනාප 66,737 ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය, පාර්ලිමේන්තුට තේරී පත්වුණේ, මනාප 59,019 ක් ගනිමින්.

රත්නපුරයෙන් පාර්ලිමේන්තු වරම් හිමිකර ගත් නීතිඥ නිලූෂා ලක්මාලී මහත්මිය ලබාගත් මනාප සංඛ්‍යාව 48,791 ක්.

ජාතික ජන බලවේගයේ මහනුවර ලැයිස්තුවෙන් තරග කළ නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ මනාප ඡන්ද 58,223 ක් ලබා ගනිමිනි.

නුවරඑළියෙන් තරග කළ නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය මනාප 34,035 ක් ලබාගනිමින් පාර්ලිමේන්තු වරම් දිනා ගත්තාය.

සමාජ ක්‍රියාකාරිනියක වන ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මහත්මිය මනාප 33,346 ක් හිමිකර ගනිමින්, නුවරඑළියෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරිනියක වන දීප්ති වාසලගේ මහත්මිය මාතලේ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් ලබාගත්තේ මනාප 47,482 ක් සමගයි.

නීතිඥ හසාරා නයනතාරා ප්‍රේමතිලක මහත්මිය, මනාප 82,058 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කරමින්.

ගුරුවරියක වන සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය, මාතරින් පාර්ලිමේන්තු වරම් දිනාගත් කාන්තාවයි.

ඇය, ජාතික ජන බලවේග ලැයිස්තුවේ මනාප ඡන්ද 148, 379 ක් ලබා ගත්තාය.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ අම්බිකා සෙල්වම් මහත්මිය පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ මනාප ඡන්ද 58,201 ක් ලබා ගනිමින් දේශපාලනයට පිවිසෙනවිට ඇය රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවී සිටියා.

ගුරුවරියක වන චතුරි ගංඟනි මහත්මිය, ජාතික ජන බලවේගයේ මොණරාගල මන්ත්‍රීවරියයි.

ඇය ලබාගත් මනාප සංඛ්‍යාව, 42 930 ක්.

මනාප 84,414 ක් ලබාගනිමින් කුරුණෑගලින් පාර්ලිමේන්තු වරම් ලබා ගත් ගීතා රත්නකුමාරි මහත්මියත් වෘත්තියෙන් නීතීඥවරියක්.

පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ජන බලවේගයෙන් තරග වැදුණු නීතිඥ හිරුණි විජේසිංහ මහත්මිය, ලැබූ මනාප සංඛ්‍යාව 44,057 ක්.

ජාතික ජන බලවේගයේ දිගාමඬුල්ල මන්ත්‍රීවරිය ලෙස තේරී පත්වූයේ, හිටපු යුද හමුදා නිලධාරිනියක වන මුතුමැණිකේ රත්වත්තේ මහත්මියයි.

ඇය ලැබූ මනාප සංඛ්‍යාව, 32,145 ක්.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් කාන්තාවන් දෙදෙනෙකු ද, මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්විය.

මනාප 30,780 ක් ලබාගනිමින් මහනුවරින් නවක මන්ත්‍රීවරියක් ලෙස පාර්ලිමේන්තුවරම් දිනාගත්, චමින්ද්‍රානී කිරිඇල්ලද වෘත්තියෙන් නීතීඥවරියක්.

මනාප 27 845 ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය නියෝජනය කරමින් මාතලෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ,  රෝහිණී විජේරත්න මහත්මිය වෘත්තියෙන් ගුරුවරියක්.

මේ ආකාරයෙන් සලකා බැලූවිට මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වී ඇති සියලුම කාන්තාවන් විවිධ කේෂේත්‍රවල වෘත්තික භාවයක් හිමි පාර්ලිමේන්තුවේ නීති සම්පාදන ක්‍රියාවලියට සැලකියයුතු දායකත්වයක් ලබාදිය හැකි පිරිස් වීම විශේෂත්වයකි.