සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

30 වැනිදාට පෙර හිඟ බදු නොගෙවුවහොත් මෙන්ඩිස් ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් 05ක බලපත්‍ර අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් තීරණයක්..

by Staff writer 13-11-2024 | 3:23 PM

COLOMBO (News 1st) –හිඟ බදු මුදල් නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවීමට අපොහොසත් වුවොත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර  අත්හිටුවීමට සුරා බදු දෙපාර්තමේන්තුව කටයුතු කරන බව නීතිපතිවරයා අද(13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ , සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ත ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳ වූ අවස්ථාවේදී ය.

පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන , යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූයේ ය.

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් පහ විසින් ගෙවීම පැහැර හැර ඇති බදු මුදල්වල වටිනාකම රුපියල් බිලියන හයකට ආසන්න බවයි.

බදු මුදල් දිගින් දිගටම ගෙවීම පැහැර හැරීම නිසා ජාතික අර්ථිකයට විශාල අගතියක් සිදුවී ඇතැයි පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.