COP29 සමුළුවේ තුන්වැනි දිනය අදයි..

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන සමුළුවේ තුන්වැනි දිනය අදයි..

by Staff writer 13-11-2024 | 9:49 PM

COLOMBO (News 1st) –එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන සමුළුව හෙවත් කොප් 29 සමුළුවේ තුන්වැනි දිනය අදයි.

අදත් රාජ්‍ය නායකයින් ප්‍රධන ශාලාවේදී ඔවුන්ගේ නිල ප්‍රකාශ සිදු කළේ ය.

දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන බලපෑම අවම කරගැනීමේ ක්‍රියාමාර්ග, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සහ පීඩාවට පත්ව ඇති සිය වැසියන්ට ජාත්‍යන්තරයෙන් අවශ්‍ය වන්නේ කුමක්ද යන්න ගැන මෙහිදී රාජ්‍ය නායකයින් අදහස් පල කළේ ය .

බංගලාදේශයේ අන්තර්වාර අග්‍රාමාත්‍ය ආචාර්ය මොහොමඩ් යුනුස්, මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයීසු, ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලෝනි, ඇතුළු නායකයින් මේ වන විටත් සිය අදහස් දැක්වීම සිදුකර අවසන් ය

අද රාජ්‍ය නායකයින්ගේ දේශගුණික ක්‍රියාකාරී සමුළුව නිමාවට පත්වනු ඇති.

කොප් 29 සමුළුවේ සාකච්ඡාවට භාජනය වන තවත් සුවිශේශී කාරණයක් වන්නේ NCQG හෙවත් දේශගුණික මූල්‍ය පිළිබඳ නව සාමූහික මූල්‍ය ඉලක්කයයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික විපර්යාස සම්බන්ධ ව්‍යාපෘති වෙනුවෙන්, බලවත් සහ සංවර්ධිත රටවලින් වාර්ෂිකව ලබාදීමට බලාපොරොත්තු වන සාමුහික මුදල් ප්‍රමාණය ඉහළ නංවා ගැනීම මේ හරහා සිදු වෙයි.

දැනට එම වාර්ෂික ඉලක්කය ඩොලර් බිලියන 100කි.

එය ඩොලර් ට්‍රිලියනයක් දක්වා ඉහළ නංවා ගැනීමට මෙම සාකච්ඡා හරහා බලාපොරොත්තුවන බව මේ වනවිට ලැබී ඇති තොරතුරු වලින් අනාවරණය වී තිබේ.

මේ අතර, රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් පවත්වාගෙන යන "delegation pavilions" නොහොත් ප්‍රදර්ශන මණ්ඩප සදහාත් මෙවර කොප් සමුළුවේ විශේෂ ඉඩක් වෙන්වී තිබේ.

මෙහිදී එක් එක් රටවලට තමන් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් සිදුවන බලපෑම අවම කරගැනීමට ගෙන ඇති පියවර නිර්මාණාත්මකව ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව හිමිවෙයි.

කොප් 29 සමුළුවේ නිල රාජ්‍ය මට්ටමේ සාකච්ඡා බකූ ක්‍රීඩාංගණයේ සිදුකෙරෙන අතරවාරයේ ඊට නුදුරින් පිහිටි ගොඩනැගිල්ලක් මහජනතාව සඳහා විවෘතයි.

green zone ලෙස නම් කර ඇති මෙම පරිශ්‍රය තුළ ව්‍යාපාරික ආයතන, තරුණ ප්‍රජාව, සහ දේශගුණික ක්‍රියාකාරීන් ඇතුළු පිරිස් විසින් පවත්වාගෙන යන කුටි ස්ථානගත කර තිබේ.

ලෝක මාධ්‍ය එකතුවේ සාමාජිකයෙකු ලෙස නිව්ස් ෆස්ට් කණ්ඩායමට අද තවත් විශේෂ අවස්ථාවක් හිමිවිය

ඒ, ආපදා අවදානම අවම කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප්‍රධානී කමල් කිෂෝර් සමග විශේෂ සාකච්ඡාවක නිරත වීමයි.