ලොහාන් රත්වත්තේ සහ බිරිඳ ලබන 18 දක්වා රිමාන්ඩ්

ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ ලබන 18 වැනි දා දක්වා යළි රිමාන්ඩ්..

by Staff writer 07-11-2024 | 2:12 PM

 COLOMBO ( News 1st ) - නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළැඹෙන 18 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර තිබියදී පසුගිය දා සොයා ගැනුණි.

ඒ අනුව මිරිහාන පොලීසිය අදාළ රථය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ, එය නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් බවයි.

අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔක්තෝබර් 30 වැනි දා රත්වත්තේ මහතාව කටුගස්තොටදී මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අනුව රත්වත්තේ මහතාගේ බිරිය වන ශෂි ප්‍රභා රත්වත්තේ මහත්මිය පසුගිය 4වැනි දා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා ය.

එහිදී ඇයව අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ අනුව ඔවුන් දෙපල අද පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.