කෝටි 200ක හෙරොයින් සෙවනගලින්..

කෝටි 200ක හෙරොයින් සෙවනගලින්.. අඹු-සැමි යුවළක් සැකපිට අත්අඩංගුවට..

by Hashini De Mel 01-11-2024 | 10:01 PM

COLOMBO ( News 1st ) - රුපියල් කෝටි 200කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග මොනරාගල, සෙවණගල ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීම සිදු කර තිබුණේ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීනි.

හෙරොයින් තොගය සෙවනගල, නුගේගලයාය, කිරිවැව ප්‍රදේශයේ නිවසක් අසළ වල දමා තිබු අතර ඊයේ(31) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එම පෙදෙස වටලා තිබුණි.

හෙරොයින් කිලෝග්‍රෑම් 53යි ග්‍රෑම් 600 ක් ප්ලාස්ටික් බහාලුම් 3ක අසුරා තිබූ බව පොලීසිය සඳහන් කළේ ය.

මෙම වැටලීම කර තිබුණේ පෙරේදා (30) බොරලැස්ගමුවේදී හෙරොයින් කිලෝ 7ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරු මතයි.

සැකකරුගේ සොහොයුරියගේ නිවස අසළ මෙම හොරොයින් තොගය වළ දමා ඇත්තේ සැකකරු විසින්ම බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සඳහන් විය.

පොලීසිය පැවසුවේ, මෙම මත්ද්‍රව්‍ය තොගය, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආමි චූටි නමැත්තාට අයත් වන අතර මත්ද්‍රව්‍ය බෙදා හැරීම මෙම ස්ථානයේ සිදු කර ඇති බවට සැක කරන බවයි.

අත්අඩංගුවට ගැනුණු අඹු සැමි යුවළ වැඩිදුර පරික්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබේ.