නෙට්බෝල් ආසියානු අනුශූරතාව ශ්‍රී ලංකාවට

2024 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට

by Staff writer 27-10-2024 | 3:12 PM

COLOMBO (News 1st) -ශ්‍රී ලංකාව 5වැනි වරටත් ආසියානු නෙට්බෝල් අනුශූරතාවය අද (27) දිනා ගෙන තිබේ.

ඒ, ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැති 2024 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ තියුණු අවසන් මහා තරගයෙන් පසුවයි.

2024 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වුණේ, ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතරයි.

මෙම කණ්ඩායම් 2 තරගාවලි ඉතිහාසයේ අවසන් මහා තරගයකදී හමු වූ 7වැනි අවස්ථාව ද මෙය වේ.

මෙම තරගය නැරඹීම සඳහා හිටපු ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකා තර්ජනී සිවලිංගම් ඇතුළු විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටියහ.

අද තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ප්‍රදර්ශනය කළේ දක්ෂ ක්‍රීඩා විලාසයකි.

තරගයේ පළමු කාර්තු 2 අවසන් වනවිට ලකුණු 28ට 27ක් ලෙස පෙරමුණ ගැනීමට සිංගප්පූරුව සමත් විය.

තුන්වැනි සහ සිව්වැනි කාර්තුවලදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයට ජීවයක් එක් කළේ සිංගප්පූරු කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කරමිනි.

තරගයේ නියමිත කාර්තු 4 කණ්ඩායම් දෙකම ලකුණු 52 බැගින් රැස් කරගෙන සිටියදී අවසන් විය.

ඒ අනුව ක්‍රියාත්මක වූ පළමු අතිරේක කාලයේදීත් කණ්ඩායම් දෙකම ප්‍රදර්ශනය කළේ එකිනෙකාට නොදෙවැනි ක්‍රීඩා විලාසයක්ය.

එම කාලයත් කණ්ඩායම් දෙකම ලකුණු 59 බැගින් රැස් කරගෙන සිටියදී අවසන් විය.

තීරණාත්මක දෙවැනි අතිරේක කාලයේදී සිංගප්පූරු ක්‍රීඩිකාවන් තර්ගය තමන් සතු කර ගත්තාය.

ඒ ලකුණු 67ට 64ක් ලෙස තරගය ජය ගනිමිනි.

ඔවුන් ආසියානු නෙට්බෝල් ශූරතාවය දිනූ සිව්වැනි අවස්ථාව ද මෙය වේ.

සිංගප්පූරුව 2018 සහ 2022 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග අවසන් මහා තරගයට සුදුසකම් ලැබූ අතර එම අවස්ථා දෙකේදීම අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට ඔවුන්ට සිදු විය.

ශ්‍රී ලංකාව මීට පෙර අවස්ථා 6කදී ආසියානු නෙට්බෝල් ශූරතාවයට හිමිකම් කී ඇත.