පියයුරු පිළිකා වෙනුවෙන් පෙරට ආ ක්‍රීඩකයින්

පියයුරු පිළිකා වෙනුවෙන් කොදෙව්වන්ට එරෙහි අවසන් එක්දින සටනේදී පෙරට ආ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්

by Staff writer 26-10-2024 | 8:10 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් තාවකාලිකව නතර කර තිබේ.

මෙම තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් කොදෙව් නායකයා තීරණය කළේ, පළමුව පන්දු රැකීමටයි.

නිශාන් මධුෂ්ක වෙනුවට පැතුම් නිස්සංක සහ දුනිත් වෙල්ලාලගේ වෙනුවට දිල්ෂාන් මදුශංක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබුණි.

එවින් ලුවිස් වෙනුවට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කැඳවා තිබුණේ 17 හැවිරිදි ජුවල් ඇන්ඩෲ.

ඔහු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඉතිහාසයට එක් වුණේ, සිය මව්බිම වෙනුවෙන් එක්දින වරම් හිමි කර ගත් 223වැනි ක්‍රීඩකයා ලෙසයි.

අද තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රෝස පැහැති පටි පැළඳ ක්‍රීඩාංගණයට පිවිසියේ ය.

ඒ, ඔක්තොබර් මාසයට යෙදී ඇති පියයරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයට සහය පළකිරීම සඳහායි.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සමගින් අවිශ්ක ප්‍රනාන්දු.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 81ක සබඳතාවක් එක් කළහ.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 34කට දැවී ගියේය.

එම ඉනිමට හතරේ පහර 4ක් සහ 6 පහරක් ඇතුළත්ය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 2කදී කඩුල්ලක් දැවී ලකුණු 81ක් රැස් කර ගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.