සමාජවාදී තරුණ සංගමයේ පෙත්සමට අවසර..

සමාජවාදී තරුණ සංගමයේ පෙත්සමට අධිකරණයෙන් අවසර..

by Staff writer 22-10-2024 | 10:13 PM

COLOMBO ( News 1st ) - සමාජවාදී තරුණ සංගමයේ විරෝධතා ව්‍යාපාරයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කර අදාළ පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) අවසර දුන්නේ ය.

ඒ සමාජවාදී තරුණ සංගමයේ කමිටු සාමාජිකයෙකුවන මහේෂ් ඉඳුනිල් මහතා විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් අද යළි කැඳ වූ අවස්ථාවේදී ය.

පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.තුරෛයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණි.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් අදාළ පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස  හිටපු ජනාධිපතිවරයා නම් කිරීමට අවශ්‍ය බවත් ඊට අවසර ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල ඊට අවසර ලබා දුන්හ.

මෙම පෙත්සමේ සෙසු වග උත්තරකරුවන් ලෙස කුරුඳුවත්ත, මරදාන සහ කොම්පඤ්ඤවීදිය යන පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපතිවරුන් ඇතුළු පිරිසක් නම් කර තිබේ.

2022 වසරේ සැප්තැම්බර් 22 වැනිදා රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙලට එරෙහිව කොළඹ ලිප්ටන් වටරවුමේ පැවති විරෝධතාවට පොලිසිය විසින් පහර දුන් බවත් එහිදී හයදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරි බවත් පෙත්සමේ සදහන් වේ.

තවත් දෙදෙනෙකු මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇප මත මුදා හැර තිබුණි.

මෙම සිද්ධිය තුළින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පෙත්සම්කරු පෙත්සම පෙන්වා දී තිබේ.

තම සංවිධානයේ සාමාජිකයන් අධි ආරක්ෂිත කලාපයකට අනවසරයෙන් ඇතුළත් වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන ඇති බවත් අදාළ අධි ආරක්ෂිත කලාපය පිහිටුවා ඇත්තේ නීතියට පටහැනි ආකාරයට බැවින් සිය සංවිධානයේ සාමාජිකයින් එලෙස අත්අඩංගුට ගැනීම නීතී විරෝධී බවත් පෙත්සමේ සදහන් වේ.

පෙත්සම ලබන වසරේ ජූනි 14  යළි කැඳවීමට නියමිත ය.