ජනපතිට විශ්වාසභංගයක් ගේන්න සැරසෙන සර්ව ජන බලය..

by Staff writer 21-10-2024 | 10:42 PM

COLOMBO (News1st) - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සර්ව ජන බලය පියවර ගන්නා බව උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා අද(21) ප්‍රකාශ කළේ ය.

අද(21) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ කමිටු දෙකක වාර්තා හෙළි නොකිරීම ඇතුළු කරුණු මත ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දෙකක් සොයා බැලීමට පත්කල එස්.අයි. ඉමාම් සහ ඒ.එන්.ජේ. ද අල්විස් කමිටු වාර්තා දෙක රැගෙන උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා අද(21) මේ මාධ්‍ය හමුවට සහභාගි විය.

ඔහු පවසන ආකාරයට හිටපු ජනාධිපතිවරයාට භාරදී තිබූ මේ වාර්තා ඔහුට ලැබී තිබුණේ තැපෑලෙනි.

මේ වාර්තා දෙකෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව පොලීසිය හෝ බුද්ධි අංශවලින් යම් අතපසුවීමක් වූයේදැයි සොයා බැලීමට රනිල් වික්‍රමසිංහ මහතා පත්කල ඒ.එන්.ජේ. ද අල්විස් කමිටු වාර්තාවේ ඇතුළත් බව කියමින් ගම්මන්පිල මහතා කරුණු කිහිපයක් ඔහු අනාවරණය කළේ ය.

''මේ වාර්තාවේ හතළිස් වන පිටුවේ මෙහෙම තියෙනවා. රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින් 2019 අප්‍රේල් 9 වැනිදා මොහොමඩ් සහරාන් ජාතික තවුහිජ් ජමාද් ත්‍රස්තවාදී ප්‍රසිද්ධ කතෝලික පල්ලි ඇතුළු ස්ථාන කිහිපයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කරන බව විදේශීය බුද්ධි අංශයකින් දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දෙනවා.කවුද මේ ⁣ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා? වර්තමානයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා

දැන් අප්‍රේල් 09 මේ ලිපිය එන විට රවී සෙනවිරත්න මහතා විදේශගත වෙලා.නැවත ලංකාවට ඇවිත් ලිපිය දකින්නේ 16 වෙනිදා.රවී සෙනවිරත්න මහත්මයා මේ ලිපිය 16 වෙනිදා බලලා අප්‍රේල් මාසේ 16 වැනි දා බලලා, මැයි පළවෙනිදා වන විට විමර්ශනයක් කර ප්‍රගතිය වාර්තා කරන්නෙයි කියලා සටහනක් දමනවා.

නමුත් CID ය භාර නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල මහතාට යොමු කරන්න භාර දෙන්නේ 19 වෙනිදා. හැබැයි  අබිරහස් ලෙස අප්‍රේල් 21 වැනිදා බෝම්බය පුපුරවා ගන්නා තුරුම මේ ලිපිය නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල මහතාගේ අතට යන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලිපිය යන්නේ බෝම්බය පිපුරවා ගැනීමෙන් පසු දින, ඒ කියන්නේ අප්‍රේල් මාසේ 22 වෙනිදා. කොහොම වුනත් ඉතා ක්ෂණිකව පියවර ගත යුතු ලිපියක් දින 12ක් තිස්සේ රවි සෙනවිරත්න මහතා භාරයේ පවතිනවා.තමන්ගේ දේශපාලන සගයන් බේරා ගැනීමට මේ වාර්තා යටපත් කිරීමට ජනාධිපතිවරයා තමන් සතු බලය පාවිච්චි කිරීම බලය අයුතු ලෙස භාවිතා කිරීම කියන විෂමාචාර්ය ජනාධිපතිතුමා සිදු කරලා තියෙනවා.''