මහින්ද සහ රනිල්ට රජයෙන් දැනුම්දීමක්

තමන් සතු අතිරික්ත රජයේ වාහන යළි භාර දෙන්නැයි මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහට දැනුම් දෙයි..

by Staff writer 19-10-2024 | 7:36 PM

COLOMBO ( News 1st ) - තමන් සතුව ඇති අතිරික්ත රජයේ වාහන යළි භාරදෙන්නැයි මහින්ද රාජපක්ෂ මහතාට සහ රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරයේ තිබූ රජයේ වාහන 8 ක් යළි භාරදී ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

තවත් රජයේ වාහන 8 ක් මහින්ද රාජපක්ෂ මහතා භාරයේ පවතින බව නිවේදනයක් නිකුත් කරමින්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ රජයේ වාහන 11 ක් මේ වන විට පවතින බව ද, එම නිවේදනයේ සඳහන් වේ.

එහි දැක්වෙන්නේ 1986 අංක 04 දරණ ජනාධිපතිවරයාගේ හිමිකම් පනත අනුව, මහින්ද රජපක්ෂ මහතාට හා රනිල් වික්‍රමසිංහ මහතාට ඔවුන් සතුව ඇති අතිරික්ත වාහන යළි භාරදෙන්නැයි, දැනුම් දී ඇති බවය.

හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නොමැති බවද, එම නිවේදනයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.