පරිගණක අපරාධවල ඉහළ යාමක්

විදෙස් ජාතිකයින් මෙරට සිදු කරන පරිගණක අපරාධවල ඉහළ යාමක්...

by Staff writer 16-10-2024 | 9:17 PM

COLOMBO ( News 1st ) - විදෙස් ජාතිකයින් මෙරට දී සිදු කරනු ලබන පරිගණක අපරාධවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව පොලිසිය පවසයි.

අන්තර්ජාලය ඔස්සේ මෙරට දී සිදුකරන ජාවාරම් සම්බන්ධයෙන් පොලීසිය විසින් මේ වනවිට පුද්ගලයින් 300 කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

ආසන්නතම සිදුවීම ඉරණවිල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර හෝටලයක රැඳී සිටි විදේශිකයින් 10 නෙකු එහිදී අත්අඩංගුවට ගන්නා ලදි.

මලයාසියානු ජාතිකයින් 4 ක්, කාන්තාවක් ඇතුලු ඉතියෝපියානු ජාතිකයින් 4 ක් , කෙන්යා ජාතික කාන්තාවක් හා චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරට ඇතුළත් වේ.

ඔවුන් සතුව තිබී පරිගණක 20 ක් රවුටර් 03 ක් හා ජංගම දුරකථන 282 ක් පොලිස් භාරයට ගෙන ඇත.

මේ අතර , මහනුවර සහ ඇතුල්කොට්ටේ ප්‍රදේශවල සැක සහිත ලෙස ලැගුම් ගෙන සිටි චීන ජාතිකයින් 31 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අද (16) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.


මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා අදහස් පළ කළේ ය.


"ශ්‍රී ලංකාවේ විදේශ රටවලත් ඒ විවිධ ආකාරයේ ගිණුම්වලට ඇතුල්වෙලා මුදල් ලබා ගැනීම වැනි දේවල් තමා මොවුන් සිද්ධ කරන්නේ. ඒ නිසා අපි මේ ලංකාව වශයෙනුත් අපි මේ සමහර විදෙශීය අධාර විදිහට දැන් පසුගිය කාලය වුණත් අපි ලබා ගන්න මුදල් සම්පූර්ණයෙන්ම ඉතාම සූක්ෂම ලෙස කෝටි ගණනින් වෙනත් රටවල්වලට පහසු විදිහට ඉතා සූක්‍ෂම ලෙස ඉවත්ව යනවා. මේ අපි නොදනුවත්ව මෙවට හසුවීම නිසා"

පරිගණක අපරාධ සම්බන්ධයෙන් චීන ජාතිකයන් ඇතුළු විදේශිකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් චීනය දැඩි අවධානය යොමුකර ඇති බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදයන් නිකුත් කරමින් සඳහන් කළේ ය.

එම සිද්දි දෙරටේ ජනතාවගේ දේපොළවලට පමණක් නොව චීනයේ ප්‍රතිරූපයට සහ දෙරට අතර සාම්ප්‍රදායික මිතුදමට ද බරපතළ හානියක් සිදුකරන බව එම නිවේදනයේ සඳහන් ය.

සැකකරුවන් නියත වශයෙන්ම අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිය බලගැන්වීමේ ආයතන වෙත පූර්ණ සහාය දක්වන බවද චීන තානාපති කාර්යාලය නිතුත් කළ නිවේදනයේ සදහන් කර ඇත.