පාසල් අධ්‍යාපනයේ ප්‍රතිසංවිධානයකට අවධානය..

පාසල් අධ්‍යාපනයේ ප්‍රතිසංවිධානයකට ජනපතිගේ අවධානය...

by Staff writer 16-10-2024 | 9:08 PM

COLOMBO ( News 1st ) - ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ය.

දරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය කර සහ සියලුම දරුවන්ට අධ්‍යාපනයෙහි ප්‍රවේශය සැලසෙන පාසල් අධ්‍යාපනයේ ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට විශේෂ අවධානයක් යොමුව තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වනසේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා දරුවන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ඉදිරි අවුරුදු දහය තුළ ලෝකයට අවශ්‍ය වන මානව සම්පත නිර්මාණය කිරීමේ මෙහෙයුම අධ්‍යාපන නිලධාරීන්ට පැවරෙන වගකීමක් බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ඒ සඳහාවන පුළුල් දැක්මක් සහිතව අධ්‍යාපන ව්‍යාපෘති සකස් කිරීමේ අවශ්‍යතාව ද  ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

පාසල් අධ්‍යාපනය නවීකරණය, ගුරු අධ්‍යාපනය, ද්වීතියික අධ්‍යාපනය, තාක්ෂණික අධ්‍යාපනය සහ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සංවර්ධනය කිරීම යන කරුණු මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයට ලක් වී ඇත.

මීට අදාළ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය  නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

උසස් පෙළ සඳහා විද්‍යා, ගණිත හා තාක්ෂණ විෂය නිර්දේශ හදාරන පාසල් සංඛ්‍යාව පුළුල් කිරීමට ජනාධිපතිවරයා එහි දී අවධානය යොමු කර තිබේ.