වැඩබලන පොලිස්පතිගෙන් දැනුම් දීමක්

මෙතෙක් විභාග නොකළ සහ විභාග කර අවසන් නැති පැමිණිලි සති 2ක් තුළ විභාග කර අවසන් කරන්න - වැඩබලන පොලිස්පති

by Staff writer 06-10-2024 | 8:43 PM

COLOMBO (News 1st) –පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති මෙතෙක් විභාග නොකළ සහ විභාග කර අවසන් නැති විවිධ පැමිණිලි සති 2ක් තුළ විභාග කර අවසන් කරන්නැයි වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා නියෝග කර තිබේ.

ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කරන ලෙස පළාත්භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ නිළධාරීන්ට වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දෙනු ලබයි.

පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති විවිධ පැමිණිලි විශාල සංඛ්‍යාවක් විභාග නොකර හෝ විභාග අවසන් අවසන් කර නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ නියෝගයේ සඳහන් ය.

ඒ හේතුවෙන් සුළු සිද්ධියක් වශයෙන් වාර්තා වන විවිධ පැමිණිල්ලක් වඩා බරපතල අපරාධයක් බවට පත්වීම පොලීසිය කෙරෙහි මහජනයාගේ විශ්වාසනීයත්වය පළුදුවීම වැනි අගතිදායක තත්වයන් ඇති විය හැකි බව ද එම නියෝගයේ දැක්වේ.

මින් ඉදිරියට පොලිස් ස්ථානවලට වාර්තාවන විවිධ පැමිණිලි වාර්තා වූ දිනයේම  විභාග ආරම්භ කිරීමටත් පැය 48ක් ඇතුළත විභාග අවසන් කිරිමටත් පොලිස් ස්ථානාධිපතිවරුන් පියවර ගත යුතු බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා වැඩිදුරටත් නියෝග කර ඇත.

මෙම උපදෙස් අනුව ක්‍රියාකරන්නේ ද යන්න සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය නිවේදන නිළධාරීන් විසින් පරික්ෂා කර ඊට පටහැනිව ක්‍රියා කරනු ලබන ස්ථානාධිපතිවරුන් සම්බන්ධයෙන් තමන් වෙත වාර්තා කළ යුතු බව ද වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් ය.