පාස්කු ප්‍රහාරය ගැන ජනපතිගෙන් සහතිකයක්...

පාස්කු ප්‍රහාරය ගැන ජනපතිගෙන් සහතිකයක්...

by Staff writer 06-10-2024 | 8:48 PM

COLOMBO (News 1st) – පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම අනිවාර්යයෙන් සිදුකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) සහතිකයක් ලබාදුනි.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් හමු වූ  අවස්ථාවේදී  ඔහු මේ ප්‍රකාශය කළේ ය.

මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී අද පෙරවරුවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ  සාකච්ඡාවක් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.


එහිදී අදහස් දැක්වූ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්...


'' එදා සිට අපි පුළුවන් තරම් උත්සාහ කළා අපිට කවුද මේක කරේ කියන එක දැනගන්න එක විනිවිද පේන පරීක්ෂණයක් හරහා. මොකද කාරණා කටයුතු ජනාධිපති කොමිසමෙන් සහ විජිත් මළල්ගොඩ කොමිටියකින් ද , පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ද නිගමන කිහිපයක් ගෙන තිබුණා. නමුත් ඒ ඔක්කොගෙම තිබුනේ වගකීම පැහැර හැරීමේ චෝදනාව. නමුත් මේ වැඩේ කළේ කවුද කියන එක, මේකට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය අරන් දුන්නේ කවුද? මේක සංවිධානය කරේ කවුද? මේ කට්ටියට අනුබල දුන්නේ කවුද? මේක පුපුරවාගන්න අනුබල දුන්නේ කවුද කියන එක ගැන කිසි දෙයක් ඒගොල්ලො සොයා ගත්තේ නැහැ... දැනගන්න ලැබුණේ.... අර අයිස් බර්ගර් එකේ අපිට උඩ කෑල්ල විතරයි අපට පේන්නේ නමුත් යට කෑල්ලෙ ලොකු දෙයක් තියෙනවා වගේ අපිට ඒක වසන් කරනු ලැබුවා.  වසර ගණනාවක් තිස්සේ විවිධ නායකයින්ගෙන් අපි ඉල්ලීම් කළා අන්තිමේදී අපිට ජිනීවා පවා යන්න සිද්ධ වුනා මානව හිමිකම් කමිටුවට. නමුත් අපිට කිසිම විසඳුමක් ලැබුණේ නැහැ. අපි නන්නත්තාර වුණා..ඒ අයගේ හිත පාරවන ප්‍රශ්නය තමයි ඇයි අපිට මෙහෙම කලේ ? අපි මොනවද එයාලට විරුද්ධව කලේ? මෙවැනි දෙයක් කරන්නට. ඒ නිසා අපිට ඒ ප්‍රශ්නෙට උත්තරයක් අවශ්‍ය නිසා තමයි මෙදා අපි ඔබතුමා ගැන විශ්වාසය තැබුවේ''


මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද අදහස් දැක්වූවේ ය.


''දැනට අවුරුදු පහකට වඩා වැඩි කාලයක් ගතවෙලා තියෙනවා. අපි එවැනි ඛේදවාචකයක් කිසිසේත්ම කලයේ, වැලිතලාවට යටපත් වෙලා ඒක මකාදමන්න ඉඩ දෙන්නේ නැහැ. මම පසුගියදා මහජන ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක ලේකම්තුමාට උපදෙස් දුන්නා අපි මේ පරීක්ෂණය කළ යුතු වන්නේ පූර්ව නිගමනයක ඉඳගෙන ඒ නිගමනය සහතික කරගැනීම සඳහා සහතික එකතු කිරීම නෙවෙයි. අපි ඉතාමත් විවෘත මනසෙකින් යුතුව මේ සිද්ධ වුනේ මොකක්ද? මේ පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයක් තිබෙනවාද කියලා ඉතාමත් නිරවුල් පරීක්ෂණයක් කරන්න කියලා මම උපදෙස් දුන්නා. හේතු කිහිපයක් තියෙනවා පළමු එක තමයි සමාජයේ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙන අපේ රටේ දේශපාලනයේ වෙනසක් සඳහා මෙවැනි ප්‍රහාරයක් සිද්ධ වුණාද කියන සැකය සමාජය තුළ තියෙනවා. අපේ රටේ මිනිසුන් සිය ගණනක් ඝාතනය කරන්න පුළුවන්නම් දේශපාලන අරමුණක් වෙනුවෙන්, ඒක ඛේදවාචකයක්. ඒ නිසා පළමු කොටම අපේ රටේ දේශපාලනය එවැනි විනාශකාරී අන්තයක නම් තිබෙන්නේ ඒක සමාජයට හෙළිදරව් කළ යුතුව තිබෙනවා. දෙක තවත් සාකච්ඡාවක් තිබෙනවා සමාජයේ මේ පරීක්ෂණයන් ඒ කියන්නේ අපේ රටට යම් ප්‍රහාරයක් යම් කුමන්ත්‍රණයක් සිදුවෙනවා නම් එය වැළැක්වීම සඳහා තිබෙන රාජ්‍ය යාන්ත්‍රණය මේ ප්‍රහාරයන්ට සම්බන්ධ වී තිබෙනවාදැයි සැකයක් තිබෙනවා. රටකට යම් ප්‍රහාරයක් ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳව තිබෙන යාන්ත්‍රණයේ ඒ ආරක්ෂාව බිඳවැට්ටීම සඳහා කටයුතු කරනවා නම්, අපේ රට හැම වෙලාවෙම අනාරක්ෂිතයි. දැනුත් අනාරක්ෂිතයි. වැළැක්වී සිටිය යුතු කණ්ඩායම් ප්‍රහාරයේ හවුල්කරුවන් වෙනවා නම් ඒක අතිශය භයානක තත්ත්වයක්. ඒ නිසා ඒ පැත්තෙන් බැලුවත් මේ පැත්තෙන් බැලුවත්. අනිවාර්යෙන්ම සිදුවුනේ කුමක්ද කියලා හෙළිදරව් කර ගත යුතු වනවා. තුන්වනුව ගත්තහම 274 කට ආසන්න පිරිසක් මියගියා තව විශාල පිරිසක් තුවාල ලැබුවා. ඒ වින්දිතයන්ට තමන්ගේ ඥාතීන් පිළිබඳව, තමන්ගේ දරුවන්, තමන්ගේ ස්වාමිවරුන් පිළිබඳව තමන් තුළ තිබෙන භක්තියට සාධාරණය ඉටුවිය යුතුව තිබෙනවා. ඒ පැත්තෙන් බැලුවත් මේ පරීක්ෂණය අපි සාධාරණව ඉටු කළ යුතු වෙනවා. අනිත් පැත්තෙන් මම හිතනවා පාස්කු ඉරිදා  ප්‍රහාරය අපේ සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයක් දෙපලු කළා. එකිනෙකා කෙරෙහි සැකෙන් අවිශ්වාසයෙන් අනෙකා කෙරෙහි වෛරයෙන් සහ ක්‍රෝධන් බලන සමාජයක් නිර්මාණය වුණා. ඒ පැත්තෙන් බැලුවත් මේකට සාධාරණය ඉටුවිය යුතුයි...මම ඔබට ඒක සහතිකයක් දෙනවා. ඔබගේ අපේක්ෂාවත් මාගේ අපේක්ෂාවත් එකක්. පළමුකොටම අපි පාලනයක් ගොඩනගලා තිබෙනවා. මේ රටේ පුරවැසියන්ගේ අරමුණත් මාගේ අරමුණත් එකක් වෙන්නට. ඒ නිසා ඔබ අපේක්ෂා කරන යුක්තිය පිළිබඳ ප්‍රශ්නය අනිවාර්යෙන්ම නිරාකරණය කරලා, සාධාරණය ඉටු කිරීම මාගේත් අපේක්ෂාව සහ බලාපොරොත්තුවයි .එය දැනටමත් අපි ආරම්භ කරලා තිබෙනවා ඉතා ඉක්මනින් එම පරීක්ෂණ දියත් කිරීම සඳහා කටයුතු කරලා තිබෙනවා. ඔබ අප කෙරෙහි විශ්වාසය තිබ්බනම් ඔබට අපි මේ ප්‍රශ්නෙදි සාධාරණත්වය යුක්තිය තහවුරු කරනවා. නැවත මෙවැනි ඛේදවාචකයක් අපේ රට තුළ ඇති නොවීම සඳහා පරීක්ෂණයක් අත්දැකීමක් අපේ රට තුළ අවශ්‍යයි. එය මම ඔබට සහතික කරනවා ''