පොහොට්ටුවේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

පාර්ලිමේන්තු මැතිවරණයට පොහොට්ටුවේ අපේක්ෂකයින් තෝරන සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

by Staff writer 05-10-2024 | 5:22 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (05) ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.

එහි මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට පොදු ජන පෙරමුණෙන් නවකයින්ට, තරුණයින්ට සහ කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලබා දෙන බවයි.

නාමයෝජනා පත්‍ර භාර දීම ලබන 09, 10,11 දිනවල සිදු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තු පිළියෙල කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා කියා සිටියේ ය.

ඔහු සඳහන් කළේ, ඒ සඳහා අනුමැතිය දීමෙන් පසු ලබන 10 සහ 11 නාම යෝජනා දීමට සැලසුම් කර ඇති බවයි.  

සමගි ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තු පිළියෙල කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, ජ්‍යෙෂ්ඨයින්ට මෙන්ම නවකයින්ට ද අපේක්ෂක ලැයිස්තුවේ අවස්ථාව ලබා දී ඇති බවය.

මේ අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නාම යෝජනා කමිටුව ද අද රැස් වනු ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාම යෝජනා කැඳවීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදි මේ වනවිට ආරම්භ කර ඇති අතර එම කටයුතු ලබන 11 වැනි දා දක්වා සිදු කෙරෙනු ඇති.

පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යොජනා භාරගැනීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදි ආරම්භවී ඇති අතර එම කටයුතු ලබන 11 වැනිදා දහවල් 12 ට අවසන් වනවා.

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.