ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් දැනුම්දීමක්

ඩො. මි. 20ක මෙරට ව්‍යාපෘති 7ක ගෙවීම් ප්‍රදාන බවට පත් කෙරේ - ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් දැනුම්දීමක්

by Staff writer 05-10-2024 | 8:11 PM

COLOMBO (News 1st) - ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව මෙරට ඉන්දියානූ මහ කොමසාරිස් කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මෙරටට පැමිණියේ ඊයේ (04) පෙරවරුවේදීයි.

ඉන්දියානූ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිල නිවේදනයේ දැක්වෙන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවති සාකච්ඡාවේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට බලශක්ති නිෂ්පාදනය සහ සම්ප්‍රේෂණය, ඩිජිටල් පොදු යටිතල පහසුකම් ඇතුළු ක්ෂේත්‍රවල දැනට ක්‍රියාත්මක මුලපිරීම් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි.

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් පිළිබඳ සිය දැක්ම සාක්ෂාත් කරගැනීම සහ ජනතාවගේ අභිලාෂයන් ඉටුකරලීම සඳහා ඉන්දියාවේ ආර්ථික සහයෝගය තීරණාත්මක වන බව ජනාධිපතිතුමා එහිදී සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ප්‍රයත්නයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇතැයි අදාළ නිවේදයේ සඳහන් විය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමග සිය ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් කඩිනමින් අවසන් එකඟතාවයකට පැමිණීමට ද කැමැත්තෙන් පසු වන බවයි.

ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත්වලට හානිදායක අයුරින් යොදා ගැනීමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපතිතුමා එහිදී අවධාරණය කර ඇත.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ එක්සත්භාවය, භෞමික අඛණ්ඩතාවය සහ සෛවරීත්වය ආරක්ෂා කර ගනිමින් සමානාත්මතාවය, යුක්තිය, අභිමානය, සාමය උදෙසා දමිළ ජනතාව ඇතුළු සියලු ප්‍රජාවන්ගේ අභිලාෂයන් වෙනුවෙන් ඉන්දියාවේ සහයෝගය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයා සමග පෙන්වා දුන් බවයි.

13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ සහ ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම මෙම අරමුණු ළඟා කර ගැනීමට පහසුකම් සලසනු බව ඔහු පෙන්වා දී ඇත.

මේ අතර ආචාර්ය එස්. ජයශංකර් සහ විදේශ අමාත්‍ය විජිත හේරත් මහත්වරු අතර පැවති සාකච්ඡාවන්හිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යතුමා ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තිය සහ සාගර් (SAGAR) යන දැක්ම මත පදනම්ව ද්විපාර්ශ්වික සහයෝගීතාවය ඉහළ නැංවීමට ඉන්දියාවේ ශක්තිමත් කැපවීම පෙන්වා දුන්නේ ය.

ඒ තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත්වය මත පදනම්ව දිවයින තුළ ක්‍රියාත්මක ව්‍යාපෘතීන් හරහා ඉන්දියාවේ සංවර්ධන සහයෝගිතාවය අඛණ්ඩව ඉදිරියට යනු ඇති බවට ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහතික වී තිබේ.

අමෙරිකානු ඩොලර් මිලියන 61.5ක ප්‍රදානයක් යටතේ කන්කසන්තුරය වරාය නවීකරණය කිරීමට ඉන්දියාව කැමැත්ත පළ කර ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන් විය.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, අමෙරිකානු ඩොලර් මිලියන 20ක ණය පහසුකම් යටතේ සම්පූර්ණ කරන ලද ව්‍යාපෘතීන් 7ක් සඳහා ගෙවීම් ප්‍රදාන බවට පරිවර්තනය කළ හැකි බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දැනුම් දුන් බවයි.