දේශපාලන පක්ෂ 6ක් අක්‍රිය කිරීමේ තීරණයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ 6ක් අක්‍රීය කිරීමට මැතිවරණ කොමිසමේ තීරණයක්..

by Staff writer 05-10-2024 | 9:28 PM

COLOMBO (News 1st) - දේශපාලන පක්ෂ 6ක් අක්‍රීය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

ඒ, ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙනි.

ඒ අනුව, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, ලංකා ජනතා පක්ෂය සහ 
ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව නොලැබෙනු ඇති.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා පක්ෂ කිහිපයක නියෝජිතයින් කැඳවා සාකච්ඡා කළ ද ඒවා සාර්ථක නොවූ බවයි.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹි බව මැතිවරණ කොමිසම පවසයි.