දේශපාලන පළිගැනීම් තවදුරටත් නැහැ

සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම් මින් ඉදිරියට සිදු වන්නේ නැහැ - ජනපති

by Staff writer 03-10-2024 | 6:05 PM

COLOMBO ( News 1st ) - සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම් මින් ඉදිරියට සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරි මාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩ භාර ගැනීමෙන් අනතුරුවයි.

අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපතිවරයා සාකච්ඡාවක ද නිතර විය.

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැවරී ඇති කාර්යභාරය අති මහත් වන අතර, රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව දිළිඳු බව තුරන් වන්නේ ද නැද්ද යන වග තීරණය වන බව එහිදී ජනාධිපතිවරයා පවසා ඇත.

කාර්යක්ෂම, ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන්, තමා පෙනී සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.