ඊශ්‍රායලයෙන් ලෙබනනයට ප්‍රහාර රැසක්

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගතවූ පැය 24 තුළ ලෙබනනයේ 50කට වැඩි පිරිසක් මරුට..

by Staff writer 03-10-2024 | 7:31 AM

COLOMBO ( News 1st ) - ගතවූ පැය 24 ක් තුළ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනයේ පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

ඉරානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කර පැය කිහිපයක් ගතවන්නට පෙර ඊශ්‍රායලය ලෙබනනයට පහර දීම ආරම්භ කළේ ය.

ලෙබනනයේ ස්ථාන රැසකට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළ අතර, ආසන්නතම ප්‍රහාරය බේරූට් අගනුවර ඉලක්ක කර එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉන් පුද්ගලයින් 05 දෙනෙකු මේ වනවිට මියගොස් ඇතැයි තහවුරු වී ඇත.

මධ්‍යම බේරූට්හී සෞඛ්‍ය පහසුකම් ඉලක්ක කර ඊශ්‍රායලය මෙම ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලෙබනනයේ පාර්ලිමේන්තුව ආසන්න ප්‍රදේශයට ද ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සති දෙකක් තුළ ලෙබනනයේ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව දහස ඉක්මවා ඇතැයි සඳහන් ය.

මේ අතර, ගල්ෆ් රාජ්‍යයන්ගෙන් සැදුම්ලත් ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය, ලෙබනනයට සහය දැක්වීමට තීරණය කළේ ය.

ස්වයං සංයමයකින් කටයුතු කරන ලෙස ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ ය.