සෞඛ්‍ය සේවාවට තැපැල් ඡන්දය ලැබෙයිද?

සෞඛ්‍ය සේවාවට තැපැල් ඡන්ද හිමිකම ඉල්ලා මැතිවරණ කොමිසමට ලිපියක්

by Staff writer 30-09-2024 | 8:03 PM

COLOMBO ( News 1st ) - 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත්‍ භාරගැනීම හෙට(01) ආරම්භ වේ.

පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව මැතිවරණය ප්‍රකාශයට පත් කර 7 වැනි දින සිට 14 වැනි දින දක්වා තැපැල් ඡන්ද සඳහා අයැදුම්පත් භාර ගැනිම සිදු කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පැවසුවේ ය.

මේ අතර සෞඛ්‍ය සේවාවට තැපැල් ඡන්ද හිමිකම ලබාදෙන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් අද (30) මැතිවරණ කොමිසමට ලිපියක් භාර දුන්නේ ය.

අද පෙරවරුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ කිහිපයක් නියෝජනය කරමින් පැමිණි පිරිසක් මේ ලිපිය භාර දී තිබේ.

සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහඳවාරච්චි මහතා…

කොමිසම පැත්තෙන් අපිට දැන ගන්නට ලැබුනේ 1981 අංක 15 දරණ මැතිවරණ පණත අනුව සෞඛ්‍ය සේවාවට තැපැල් ඡන්ද පහසුකම ලබාදිය නොහැකි බව. නමුත් විශාල ප්‍රමාණයකට නිවාඩු ලබාගෙන ගිහිල්ලා ඡන්දය පාවිච්චි කරන්න ඕන පසුබිම හදලා දෙන්න ඒගොල්ලෝ පොරොන්දු වුණා. මේ පණත අවුරුදු ගාණක් තිස්සේ තිබුණු කිසිදු ආණ්ඩුවක් සංශෝධනය කරලා නැහැ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඡන්ද අයිතිය සුරැකෙන විදියට. අපි බලාපොරොත්තු වෙනවා මේ ඡන්දයෙන් පසුව හෝ තැපැල් ඡන්ද හිමිකම සෞඛ්‍ය සේවකයාට ලබාදෙයි කියලා…

මෙහිදී අදහස් පළ කළ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් කුමාර මහතා…

සාධාරණ මැතිවරණයක් තියනවා නම්, මැතිවරණයකදී ඡන්දය ලබාදීමට අවස්ථා හිමි හැමකෙනාටම ඡන්දය ලබාදීමේ අවස්ථාව උදා කිරීම, අත්‍යාවශ්‍ය කරුණක්. 2023 ඔක්තෝම්බර් 17 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයේ සදහන් වෙලා තියෙනවා..සෞඛ්‍ය හා සම්බන්ධ ආයතයවල වැඩ කරන සියලු දෙනා අත්‍යාවශ්‍ය සේවාවන් වශයෙන් නම් කරලා තියෙනවා.ඒවගේම නිල වෙබ් අඩවියේ සදහන් වෙලා තියෙනවා, අත්‍යාවශ්‍ය සේවාවන් හී නියැලෙන අයට තැපැල් ඡන්දය ලබාදිය යුතුයි කියලා. ඒ නිසා අද අපි එතුමත් එක්ක සාකච්ඡා කරන්න ආවේ තැපැල් ඡන්දය අවස්ථාව සෞඛ්‍ය සේවායේ නියැලෙන වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සියලු දෙනාටම ලබාදෙන්න කියන ඉල්ලීම කරන්න…