විපක්ෂයේ සන්ධානයට මොකද වෙන්නේ?

විපක්ෂය එක්වී පුළුල් සන්ධානයක් සකස් කළ යුතුයි - මනූෂ නානායක්කාර

by Staff writer 30-09-2024 | 7:58 PM

COLOMBO ( News 1st ) - විපක්ෂයේ සියලු දෙනා එකට එක්වී පුළුල් සන්ධානයකින් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ යුතුව ඇතැයි හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (30) ප්‍රකාශ කළේ ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය මේ සම්බන්ධයෙන් අදත් විවිධ සාකච්ඡාවල නිතර වී තිබේ.

කොළඹ මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යාලයට අදත් වරින් වර පැමිණි විවිධ පාර්ශ්ව සාකච්ඡාවල නිරත විය.

මෙහිදී හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අදහස් පළ කළේ ය.

"පුළුල් සන්ධානෙකින් තරග කරන්නනේ අපේ බලාපොරොත්තුව තියෙන්නේ.අපි හිතන්නේ මේ වෙලාවේ විපක්ෂ සියලු දෙනා එකට එකතු වෙන්න ඕනේ කියලා. ඉතින් තම තමන් තම තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ තියෙනකොට සමහර අය එහෙම එකතු වෙන්න අකමැතිකම් තියෙනවා. එතකොට ඉතින් අපි බලනවා ඒ පොදු අරමුණ වෙනුවෙන් එකතු වෙන්න පුළුවන් කණ්ඩායම් වලට එකතුවෙලා වැඩ කරන්න. ඉතින් මං හිතන්නේ සාකච්ඡා තවමත් අවසන් නැහැ. අවසන් තීන්දුවකට එන්න පුළුවන්කමක් නෑ. අපි හිතනවා අද හෙට වෙනකොට අපිට අවසාන වශයෙන් කියන්න පුළුවන් කියලා"

ප්‍රශ්නය - ලාංඡනය වෙනස් වෙයිද?

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා - මොකක්ද ලාංඡනය  වෙනස් වෙන්නේ ?

ප්‍රශ්නය - සිලින්ඩරය වෙනස් වෙනවද, අලියට යනවාද ?

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා - අපි බලමු ගෑස් සිලින්ඩරෙන් තරග කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් පොදු හැමෝම එකට එකතු කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ..

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් ද අද සාකච්ඡාවලට එක්ව සිටියහ.

මෙහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැස්බෑව ආසන සංවිධායක සමන් රත්නප්‍රිය මහතා අදහස් පළ කළේ ය.

"එක්සත් ජාතික පක්ෂය විදිහට සාකච්ඡා කරා, ඒ වගේම SLPP එකේ බහුතර කණ්ඩායම විදිහට සාකච්ඡා කරා.ඒ වගේම අගමැතිතුමාලගෙ කණ්ඩායම් ඒගොල්ලෝ එළියෙත් යම් සාකච්ඡාවක් සිද්ධ වුණා.ඒ හැමෝගෙම එකඟතාවය තියෙන්නේ පොදු සලකුණක් යටතේ පොදු සන්ධානෙකින් යන්න ඕනි කියලා"

ප්‍රශ්නය - ස.ජ.බෙ කතාව නැද්ද දැන්?

සමන් රත්නප්‍රිය මහතා

"සමගි ජන බලවේගය සාකච්ඡාවලට තවමත් විවෘතව තියෙනවා. නමුත් අපි අපේක්ෂා කළ ප්‍රමාණයට සාකච්ඡා ඉස්සරහට යනවද කියන කාරණය පිළිබඳව පුංචි ප්‍රශ්නයක් තියෙනවා

ප්‍රශ්නය - එතන කොතනද නැවතුණේ මොකක්ද  හේතුව මේකට?

සමන් රත්නප්‍රිය මහතා - 

සමහර එකඟතාවයන් වලට ඒම කියන කාරණයේ දී සංකේත පිළිබඳ ප්‍රශ්නයක් ආවා.ඒ පැත්තෙන් ඒ සංකේතය ඕනේ කියන කාරණයක් ආවා. ඉතින් අපේ පැත්තේ බහුතර කණ්ඩායම කියන්නේ පොදු සංකේතකට යන්න ඕන කියලා.සාමාන්‍යයෙන් සන්ධානයකට යනකොට තම තමන්ගේ පක්ෂවල සංකේතවල රැඳෙන්නෙ නෑ.පොදු සංකේතයකට තමයි යන්නේ.ඒ වගේ කාරණා කීපයක් කියනවා.නමුත් තවමත් සාකච්ඡා විවෘතව තියෙනවා සහ සාකච්ඡා කරමින් යනවා.ඒකට පක්ෂය ඇතුලේ කණ්ඩායම් පත් කරලා තියෙනවා

ප්‍රශ්නය - දැන් නායකත්වය කාටද ලැබෙන්නේ සජිත් මහත්තයා ආවොත්

සමන් රත්නප්‍රිය මහතා - 

සජිත් මහත්මයා ආවොත්, සජිත් මහත්මයාගේ පක්ෂයේ නායකත්වය සජිත් මහත්මයා.එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහත්මයා. අගමැති අපේක්ෂකත්වය ධූරය එතුමට දෙන්න අපේ ගැටළුවක් නෑ. හැබැයි එහෙම ඒකාබද්ධ සන්ධානයක් විදිහට තමයි මැතිවරණයට තරග කරන්නේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් අද සිරිකොත පක්ෂ කාර්යාලයට පැමිණීමට සූදානම්වී තිබුණි.

නමුත් ඊට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට සාකච්ඡාවක් ලබා දුන්නේ ය.

මෙහිදී අදහස් පළ කළ එක්සත් ජාතික පක්ෂයේ උපුල් මාලේගොඩ මහතා..

"අද අපිට ලොකු විරෝධයක් කරන්න තිබුණා. ඒකත් අපි නවත්තලා ආවෙ  හිටපු ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරන්න ඇත්ත එතුමා කියපු කතාව අපි දැන් පක්ෂ හැටියට නෙවෙයි ඉදිරියට යන්න ඕන ජාත්‍යන්න්තර මට්ටමින් දැන් අපි facebook එකෙන් නැත්තම් ඉන්ටර්නෙට් එකෙන් අපි මේක ලෝකෙට යනවා නම් මේ රට මම හිතන්නෙ පක්ෂ දේශපාලනයෙන් ඉස්සරට වැඩිය දියුණු විය යුතුයි කියලා එතුමා කිව්වේ .අපේ ඉල්ලීම තිබුණා සිරිකොත මම හිතන්නේ හොඳ තත්වෙකට ගේන්න ඕනි මේ තියෙනවට වැඩිය. ඒ වගේම එතුමා අපෙන් ඉල්ලීමක් කරා එතුමට මේ නායකත්වය තවදුරටත් රැඳිලා ඉන්න කියලා…

අනතුරුව කිහිප දෙනෙක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණියේ ය.

එක්සත් ජාතික පක්ෂ බුද්ධිමතුන්ගේ සංසදයේ සභාපති ආචාර්ය චමින්ද මලලසේකර මහතා..

"අපි සාකච්ඡාවක් කියපු ගමන් සමහරු හිතනවා ඒක උද්ඝෝෂණයක් කියලා අපි සිරිකොත ඉස්සරහ ඇවිල්ලා උද්ඝෝෂණය කරන්නේ නෑ. සිරිකොත ඇතුලේ සාකච්ඡා කරන්නේ. අද දවස එන්න කිව්වේ ඉදිරිසක් සංවිධාන කටයුතුයි කොහොමද කරන්නේ කියලා සාකච්ඡා කරන්න එතකොට ඒ කැඳවීම කරලා තියෙන්නේ අපට ගිය පණිවිඩයක් ආවා නායකතුමා තව දවස් දෙකක් යනවා පක්ෂයේ ඉදිරි කටයුතු ටික ෆයිනලයිස් වෙලා චන්දෙට යන විදියට තීරණය කරන්න. අපි ඊට පස්සේ සියලූම කට්ටිය ගෙනල්ලා කතා කරමු"

මේ අතර පොහොට්ටුව ලකුණෙන් සෑම දිස්ත්‍රික්කයකට තරග කිරීමට පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

හැරගිය කිසිවෙකුට නාමයෝජනා නොදෙන බව පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

"අපි ප්‍රකාශ කරනවා අපි තීන්දුවක් අරන් තියෙනවා පක්ෂේ තීන්දුවක් ගත්තා. පහුගිය දවස්වලින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය අපි ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ තරග කරන්නත් ශක්තිමත් කණ්ඩායම් යොදලා නැවත ශක්තිමත්ව පක්ෂය  හැටියට නැගී සිට මේ මැතිවරණයට මුහුණ දෙන්නත් ඉන්  ජයග්‍රහණය කරන්නත් තීරණයක් අරගන ඒ අනුව අපි කටයුතු කරනවා.

ප්‍රශ්නය - රෝහිත අබේගුණවර්ධන මහත්මයා මාධ්‍යට කියනවා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක සාකච්ජා කරනවා මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක සාකච්ජා කරනවා.

නීතීඥ සාගර කාරියවසම් මහතා - "අපි පක්ෂයක් හැටියට ගත්ත තීන්දුවේ අපි ස්ථීරව ඉන්නවා. පක්ෂය පාවා දීපු කිසිදු කෙනෙක් නැවත පක්ෂයේ ඉහළ නිලතල ලබාදීමක් හෝ නාමයෝජනා ලබා දීමක් කරන්නෙ නෑ. 

මේ අතර සර්ව ජන බලය ලෙස ඔවුන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා...

"මහ මැතිවරණයට අපි දැන් සර්වජන බලය හැටියට සාකච්ඡා කරගෙන යනවා. ඒ සඳහා කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා

ප්‍රශ්නය - ඒ වගේම සමහරක් අය කියනවා විපක්ෂයේ ඉන්න ඔක්කෝමලා එකතුවෙලා මේ ආණ්ඩුවට එරෙහිව එනවා කියලා

විමල් වීරවංශ මහතා - නැහැ මම හිතන්නේ නැහැ විපක්ෂයේ ඉන්න ඔක්කොම එකතු වෙන්න පුළුවන් විදියේ තත්ත්වයක් තියෙනවා කියලා.

ඒකට හේතුව ප්‍රතිපත්තිමය වශයෙන් විෂමවාදයක් තියෙනවා එකිනෙකා අතර. ඒ නිසා තමයි අපි වෙනම සර්වජන බලය හැටියට මේ මහ මැතිවරණයටත් ඉදිරිපත් වෙන්න අවශ්‍ය පියවර ගනිමින් ඉන්නේ.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට දෙමළ පොදු ව්‍යුහය ජනාධිපතිවරණයේ දී භාවිත කළ හක්ගෙඩිය ලකුණෙන් තරග කිරීමට උත්සාහ කරන බව හිටපු මන්ත්‍රී ගෝවින්දන් කරුකරම් මහතා පවසයි.

අද මඩකලපුවේ දී මේ පිළිබඳව ඔහු කරුණු පැහැදිලි කළේ ය.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්. ගෝවින්දන් කරුණාකරම් මහතා

"දෙමළ ජනතාවගේ ලකුණක් හැටියට හඳුන්වලා දුන්න හක්ගෙඩිය ලකුණෙන් මෙම මහ මැතිවරණයට මුහුණ දීමට සූදානම් බව දෙමළ ජාතික පොදු ව්‍යුහය ඉකුත් විසි හය වෙනිදා තිබුණු රැස්වීමකදී ඒකමතිකව තීරණය කළා. ඒ අනුව හක්ගෙඩිය ලකුණ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ ලකුණ වන පොල්තෙල් පහන වෙනුවට මාරු කර ගැනීමේ ඉල්ලීම අපි මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරලා තියෙනවා.අද හෝ හෙට එහි තීරණය ලැබෙයි.බොහෝ දුරට ඒක අපිට ලැබෙන්න ඉඩ තියෙනවා"