ලෙබනනයේ ලක්ෂයක් සිරියාවට..

ගුවන් ප්‍රහාර මැද ලෙබනනයේ ලක්ෂයක් සිරියාවට..

by Staff writer 30-09-2024 | 8:23 PM

COLOMBO ( News 1st ) - ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂයක් සිරියාවට පලාගොස් තිබේ.

එම පුද්ගලයින් සඳහා දේශසීමා හරස් මාර්ග හතරකදී මානුෂීය ආධාර සපයන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ ය.

පලාගිය පිරිස අතුරින් 41කට අධික පිරිසක් ලෙබනන ජාතිකයින් බව ලෙබනන බලධාරීන් ප්‍රකාශ කළේය.

මේ අතර ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ අල්-අබ්බාසි, හරූෆ් සහ බෙඩියාස් නගරවලට ඊශ්‍රායල හමුදා ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ලෙබනන දේශසීමා ඔස්සේ හිස්බුල්ලා සංවිධානයට අයත් රහස් උමං මාර්ග වෙත ඊශ්‍රායල හමුදා වැටලීම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර, ලෙබනනයේ දකුණු ප්‍රදේශයට හමුදාව යෙදවීමට රජය සූදානම් බව ලෙබනන අග්‍රාමාත්‍ය නජීබ් මකාටි පවසයි.

ලෙබනනයට සටන් විරාමයක් ලබා ගැනීම සඳහා කැපවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ඊශ්‍රායල ගොඩබිම් ආක්‍රමණයක් සඳහා සූදානම් බව හිස්බුල්ලා නියෝජ්‍ය නායක නයිම් කසම් ප්‍රකාශ කරන ලදි.

කෙසේ වෙතත් ගොඩබිම් ආක්‍රමණයක් සිදු නොකරන ලෙස ඊශ්‍රායලයට, අමෙරිකාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

ගොඩබිම් ආක්‍රමණයකට පෙර මෙම නගර තුනට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කෙරුණි.

ගත වූ පැය 24 තුළ ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින්  පුද්ගලයන් 105 දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර තවත් 359 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.